2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
එමෙන්ම ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමට මෙන්ම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කිරීමටත් කටයුතු කරන බව ඇය කියා සිටියාය.
“පෙර පාසල් පද්ධතියේ පවතින ගැටලු සමස්ත සමාජයේ සහ අධ්‍යාපනයේ තියෙන අර්බුදයෙන් වෙන් කරලා කතා කරන්න බැහැ. 2024 මේ රට භාර ගන්නකොට අපිට ප්‍රධාන අභියෝගය වුණේ රට ණයගැතිභාවයෙන් මුදා ගනිමින් නිවැරදි ආර්ථික නිර්ණායක නිවැරදිව සකස් කිරීමටයි. ඒ අනුව 2025 දී අපිට අභියෝගාත්මක වසරක් වුණත් අපේ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගන්නත්, ඒ මගින් රටේ අයවැය තුලනය කර ගන්නත් හැකි වුණා.
ඔබ දන්නවා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළා. ඒ ප්‍රතිපත්තියේම තියනවා පෙර පාසල් අධ්‍යාපනයත් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා කියලා. මේ දක්වා පෙර පාසල් ආරමිභ කිරීම සහ මුල් ළමා විය සංවර්ධනය කිරීම විධිමත්ව සිදු වෙලා නෑ. සියලු පෙර පාසල් නියාමනය කරන්නත්, ප්‍රමිතිගත කරන්නත් අපිට සිදු වෙලා තිබෙනවා ඒක පහසු කාර්යයක් නෙමෙයි. මුළින්ම සියළු පෙර පාසල් විධිමත් ලෙස ලියාපදිංචි කළ යුතුයි.
අපි මේ වන විට ගුරුවරුන්ගේ පුහුණුව වෙනුවෙන් විෂය මාලාවක් සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම 2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරනවා. පෙර පාසල් ඩිප්ලෝමාව සඳහා පිළිගත් විෂය මාලිවක් සකස් කර තිබෙනවා. ඉදිරියේදී අපි පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාව දෙන්නේ ඒ අනුවයි. පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරන්නත්, වැටුප් තලයක පිහිටුවන්නත් අපි පියවරෙන් පියවර කටයුතු කරනවා.”

