නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවකුට ඇප ලබාදීමට අවශ්‍ය ආධාර කිරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව අදාළ සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොමැති බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
2021 වසරේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුට ඇප ලබා ගැනීම සඳහා ආධාර උපකාර කිරීමට බව සඳහන් කරමින් එම අදාළ සැකකරුගේ පවුලේ සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

