රට තුළ කිසිඳු තෙල් හිඟයක් නැහැ, ඇතිවෙන්න ඉඩ දෙන්නෙත් නැහැ – අනිල් ජයන්ත

anil-jayanthe-tax

මෙරට තුළ කිසිඳු තෙල් හිඟයක් නොමැති බවත්, තෙල් හිඟයක් ඇතිවීමට ඉඩ නොදෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

යම් වෘත්තීය සමිති කණ්ඩායමක් විසින් ලබාදුන් ප්‍රකාශයක් හරහා මෙම ඉන්ධන පෝලිම් නිර්මාණය වී ඇති බවයි අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බෙදුම්කරුවන් ඉන්ධන ඇනවුම් සිදු කරන්නේ තනි තනිව බවත්, කිසිඳු අවස්ථාවක වෘත්තීය සමිතියක් ලෙස ඉන්ධන ඇනවුම් සිදු නොකරන අතර සාමාන්‍යයෙන් දවසකට ඇනවුම් 1200 ක් ලැබුණද මෙම දින දෙකට පමණක් ඇනවුම් 1800 ක් පමණ ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වෙළඳපොළ තුළ හිඟයක් මවා, යම් අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමට කටයුතු කරනවා නම්, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.