මෙරටින් වැඩැම්ම වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ ජය ශ්‍රී මහා බෝධි අංකුරය අමෙරිකාවේ ටෙක්සාස්හි පිහිටි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා ඇත.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් සහ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ඇතුළු පූජනීය වස්තූන් සමූහයක්, අතිමහත් බැතිමතුන් පිරිසකගේ ගෞරව බහුමාන මධ්‍යයේ පසුගිය මැයි 01 වනදා අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළ වෙත වැඩම කරවන ලදි.
මෙම පූජනීය වැඩම කරවීම සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය සමඟ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු දූත පිරිස සහභාගී වී තිබුණි.
එහි දී ඔවුන් පිළිගැනීම සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා, කොන්සියුලර් ජනරාල් ලංකා පන්නිල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම අවස්ථාව සඳහා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මෙන් ම වියට්නාම් ජාතික බැතිමතුන් ද විශාල පිරිසක් සහභාගී වී තිබේ.
මහජන ගෞරවය හා වන්දනාමාන කටයුතු සඳහා පසුගිය 02 වනදා සිට මෙම ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

