වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් අද (26) පවත්වා තිබේ.
එහිදී මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හේතුවෙන් උද්ගතව ඇති තත්ත්වය තුළ මෙරට බේකරි නිෂ්පාදකයින් හා එම කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කළ අතර එම මිල ඉහළ දැමීමට බලපෑ කරුණු සම්බන්ධයෙන් ඔවුන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි.
බේකරි ආහාර නිෂ්පාදනය සඳහා උඳුන් භාවිතයේදී ඩීසල් යොදා ගන්නා අතර ඒ හේතුවෙන් ඉන්ධන මිල වැඩිවීම තම නිෂ්පාදන පිරිවැයට සෘජු බලපෑම් එල්ල කර ඇති බව ඔවුන් මෙහිදී පෙන්වාදී ඇත.
බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන තිරිඟු පිටි මිල එළඹෙන අලුත් අවුරුද්ද අවසන් වන තෙක් වැඩි නොකරන බවට තිරිඟු පිටි සමාගම් පසුගිය සතියේ ප්‍රකාශ කළහ.
එහිදී මේ බව සිහිපත් කළ වෙළෙඳ අමාත්‍යවරයා අලුත් අවුරුදු සමයෙන් පසුව තිරිඟු පිටි මිල යම් ආකාරයකින් ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල යළි වැඩිකරන්නේදැයි එහිදී ප්‍රශ්න කර සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් බේකරි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ, තිරිඟු පිටි මිල රුපියල් දහයකින් පමණ ඉහළ දැමුවහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බවය.
ෆාම් ඔයිල් යොදා ගෙන නිෂ්පාදනය කරන මාගරින් සෞඛ්‍යයට හිතකර නොවන අතර තම නිෂ්පාදන තුළ බටර් භාවිතය දිරිමත් කිරීම සදහා දැනට පවතින බාධා ඉවත්කර දෙන ලෙස මෙහිදී බේකරි හිමිකරුවන් ඉල්ලීමක් කරන ලදී.
ඒ පිළිබඳ අවධානය යොමුකළ අමාත්‍යවරයා, ෆාම් ඔයිල් මිල හා බටර් මිල බේකරි නිෂ්පාදනවලට බලපෑමක් එල්ලකරන බැවින් බටර් සඳහා පවතින ආනයනික බදු සංශෝධනය පිළිබඳ සලකා බැලීමට ඔවුන්ගේ ඉල්ලීම ලිඛිතව යොමුකරන ලෙස දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

