බලශක්ති ඇමති කුමාර ජයකොඩිට අධි චෝදනා භාර දෙයි – ඇප මත මුදාහැරේ….

News Iamges.00_00_00_11.Still2035

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද (27) මෙම චෝදනා භාරදීම සිදු වු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කර තිබූ සිතාසියකට අනුව විත්තිකාර කුමාර ජයකොඩි මහතා අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටියේය.

චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් නියම කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති චෝදනාවට අනුව, 2016 දී ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී පුද්ගලික සමාගමකට වාසියක් සැලසීමෙන් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුවූ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

එමඟින් අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ  ‘දුෂණය’ නමැති වරද කළ බවටද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා තිබේ.

මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මැයි 6 වනදා යළි කැඳවීමට නියම කර ඇත.