පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් බස් රථය ධාවනය කළ රියදුරු යළි රිමාන්ඩ්…..

News Iamges.00_00_00_03.Still1367

අධික වැසි හේතුවෙන් රටපුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 ක් රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනෙකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම පෞද්ගලික බස් රථයේ රියදුරා ජනවාරි මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද (14) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නොච්චියාගම මහෙස්ත්‍රාත් පී. ආර්. අයි. ජමීල් මහතා විසින් මෙම නියෝගය ලබා දී තිබුණි.

සැකකාර රියදුරාට එරෙහිව පොලීසිය එල්ල කර ඇති මිනි මැරුම් චෝදනා සහ මිනි මැරීමට තැත්කිරීමේ චෝදනා ඉවත් කරන ලෙස සැකකරුගේ නීතීඥයින් කළ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, එම චෝදනා යටතේම නඩුව පවත්වා ගෙන යෑමට ද තීන්දු කර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගර ගතකර ඇත්තේ සාලියවැව ඉහළ පුලියන්කුලම බලගොල්ලාගම ලියද්දේ ගෙදර ධනෂ්ක කුමාරසිංහ නැමති බස් රථයේ රියදුරෙකි.

මෙම සැකකාර පෞද්ගලික බස් රථ රියදුරාට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කර තිබේ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ සැකකාර රියදුරාට එරෙහිව මෙම නඩුව පැමිණිල්ල විසින් පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් දීර්ඝව කරුණු දක්වමින් අධිකරණයට කියාසිටියේ මෙම සිද්ධි දාමයට අදාළ කිසිවක් මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ සිටි මගීන්ගේ ජීවිතවලට හානි කිරීමේ හෝ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීමේ චේතනාවකින් සිදුව නොමැති බවය.

ඒ අනුව සැකකරුට එරෙහිව මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එල්ල කිරීම යුක්ති සහගත සහ සාධාරණ නොවන බවද ප්‍රකාශ කල නීතිඥයින් සැකකරුට එරෙහිව එල්ල කර ඇති ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ඉවත් කර සැකකරු ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස අයැද සිටියේය.

දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කළ සියලු ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

නීතිඥවරුන්ගේ එම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කල මහෙස්ත්‍රාත්වරයා මිනී මැරුම් සහ මිනී මැරීමට තැත්කිරීමේ චෝදනා යටතේ මෙම නඩුව සැකකරුට එරෙහිව පවත්වා ගෙන යාමට තීන්දු කර තිබේ.

නීතිඥයින්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට දැනුම් දුන්නේ සැකකරුට මහාධිකරණයෙන් ඇප ඉල්ලීම් කල හැකි බවය.

පැමිණිල්ල වෙනුවෙන් රාජාංගනය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණසිංහ මහතාගේ උපදෙස් මත සැරයන්වරුන් වන (28004) තිලක් සහ (71992) දිසානායක යන මහත්වරුන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ දුෂාන්තිකා දිසානායක මහත්මිය පෙනී සිටියේය.

එමෙන්ම, අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් සහ නීතිඥ චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු නීතීඥයින් කණ්ඩායමක් පෙනී සිටියහ.