ලක්බිමේ නන් දෙසින් පුවත් මවන, සිදුවීම් වාර්තා කරන ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ ශ්‍රමිකයා වන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදියායි. උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් විසිරී සිටින මේ පිරිස තමන්ගේම වියදමින්, තමන්ගේම උපකරණවලින්, අව්ව වැස්ස නොබලා මහපොළොවේ සැබෑ තොරතුරු සොයා යති. එහෙත් අද වන විට ලංකාවේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ප්‍රජාවම දැඩි කලකිරීමකට සහ අසරණභාවයකට පත්ව සිටින්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන අනුගමනය කරන ඇතැම් අත්තනෝමතික ක්‍රියාපටිපාටීන් හේතුවෙනි.
වෙළඳ දැන්වීම්වලට යට වූ ‘මාධ්‍ය නිදහස’
ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු දිවි පරදුවට තබා, බලපුළුවන්කාරකම් හෝ දූෂිත ක්‍රියාවන් පිළිබඳ පුවතක් වාර්තා කළද, බොහෝ විට එය ප්‍රධාන නාලිකා හෝ පුවත්පත්වල පළ නොවේ. ඒ පිටුපස ඇත්තේ අදාළ මාධ්‍ය ආයතන නඩත්තු කරන “ඇජෙන්ඩාවන්” සහ වෙළඳ දැන්වීම් ආයතනවල (Advertising Companies) බලපෑමයි. යම් වංචාවකට සම්බන්ධ පාර්ශවයක් මාධ්‍ය ආයතනයක ප්‍රධාන දැන්වීම්කරුවෙකු නම්, එම පුවත “පිටුව මදි” හෝ “වෙලාව මදි” යන ලේබලය යටතේ කුණු කූඩයට වැටේ. මෙහිදී වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, පුවත පළ නොවීම ගැන ගමේ ජනතාව දෝෂාරෝපණය කරන්නේ අදාළ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට වීමයි. “අරූ සල්ලි අරගෙන පුවත යට ගැහුවා” යන අපහාසයට ලක්වීමට අද රටේ සෑම ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුටම සිදුව ඇත.
ශ්‍රම සූරාකෑම සහ සම්මාන කොල්ලය
ප්‍රවෘත්තියක් සම්පාදනය කර ගැනීමට යන මූලික වියදම පවා පියවා ගැනීමට නොහැකි සොච්චම් මුදලක් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට ගෙවන අතර, ඇතැම් ආයතන එම මුදල පවා නිසි කලට ගෙවන්නේ නැත. එසේ වුවත්, ප්‍රාදේශීය මාධ්‍යවේදියා දුෂ්කරතා මැද එවන දර්ශන සහ තොරතුරු භාවිතා කරමින්, වාර්ෂික සම්මාන උළෙලවලදී රන් සම්මාන දිනාගන්නේ ප්‍රධාන කාර්යාලවල සිටින මාණ්ඩලික වාර්තාකරුවන් සහ නිලධාරීන් වීම බරපතළ අසාධාරණයකි. ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ නම පවා සඳහන් නොවන තරමට අද ඔවුන්ගේ වෘත්තීය අභිමානය හෑල්ලුවට ලක්ව තිබේ.
සමාජ මාධ්‍ය: අවසාන විලාපය
අද බොහෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමන්ගේ කනස්සල්ල Facebook හෝ YouTube හරහා ප්‍රකාශ කරන්නේ වෙනත් කළ හැකි දෙයක් නොමැති කම නිසාමය. සැබෑ ප්‍රශ්නවලට මාධ්‍ය ආයතන තුළ ඉඩක් නොලැබෙන විට, ඔවුන්ට තම හදවතේ වේදනාව මුදා හැරීමට ඇති එකම වේදිකාව එයයි. “හිස් මිනිසුන්” සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රතිරූප මවද්දී, රටේත් ගමේත් සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදියා අද සමාජය තුළ පවා හුදකලා වී ඇත.
මෙය එක් පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නොව, ලංකාවේ සමස්ත ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණ දෙන පොදු ඛේදවාචකයකි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම්, ලංකාවේ ගවේෂණාත්මක සහ සැබෑ මාධ්‍ය කලාවේ අවසානය වැඩි ඈතක නොවේ.
ගලෙන්බිදුණුවැව සහ ගම්පහ විශේෂ වාර්තාකරු විසිනි…

