ලෝක ආර්ථික දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව 2025 වසරේදී ඉහළ වර්ධනයක් ළඟා කරගෙන ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මාළිගාතැන්න මංසන්දියේ සිට 11 කණුව මඩුගහපිටිය දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.
බංකොලොත් රට මේ වනවිට ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව ද ඔහු කීය.
“රට ස්ථාවර කරමින් ලෝක ආර්ථිකය අභියෝගයන්ටද මුහුණ දෙමින් ඉලක්කගත වැඩ පිළිවෙලක් තුලින් රට ඉදිරියට ගෙනයනවා. ආර්ථික වර්ධන වේගය අනුව සියලු ක්ෂේත්රවලින් ඉදිරියට ගොස් තිබෙනවා.
ඒ අතරතුර පසුගියදා ඇතිවූ දිට්වා ව්‍යසනයෙන් කෝටි ලක්ෂයකට වැඩි පාඩුවක් අපේ රටට සිද්ධවුණා. රටේ සංවර්ධනයට යොදන්න තිබූ සල්ලි එම හානි වෙනුවෙන් යොදවන්න වෙලා තියෙනවා. දැනටමත් දිට්වාවලින් හානිවූ විශාල ප්‍රමාණයකට වන්දි ගෙවීම් සිදු කරමින් රට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ලෝකය පිළිබඳ අවබෝධයෙන් හා වංචා දූෂණ නැතිව, මහජන මුදල් නාස්තියෙන් තොරව, පෞද්ගලික වරප්‍රසාද කප්පාදු කර ගනිමින් ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’රටේ ජනතාවට ලබාදෙන්න අපි රජයක් විදියට කැපවෙනවා.”
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ වැඩ කටයුතු අද (14) ආරම්භ කෙරුණි.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට අනුව (i-Road Project) ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ තවත් මාර්ගයක් සංවර්ධනය කරනු ඇත.
බදුල්ල – මොණරාගල (A-22) ප්‍රධාන මාර්ගයට සහ පුස්සැල්ලාව මාර්ගයට කඩිනමින් ප්‍රවේශය ලබාගත හැකි මෙම 11 කණුව මඩුගහපිටිය මාර්ගය සංවර්ධනයට රුපියල් ලක්ෂ 600 ක මූල්‍ය ප්‍රතිපාදන වැය කෙරේ.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් තරගකාරී විනිවිද ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ තෝරාගත් දේශීය ඉදිකිරීම් ආයතන මගින් මාර්ග සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

