මාර්තු 03 වෙනිදා සිට මාර්තු 18 දක්වා කාලය තුළ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 53 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තහනම් ධීවර දැල් භාවිතයෙන්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා ඇතුළු නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන්, බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කිරීමේ චෝදනාවලට අදාළවය.
මෙම සැකකරුවන් 53 දෙනාට අමතරව ඩිංගි යාත්‍රා දහතුනක් සහ ට්‍රැක්ටර් රථ හතරක් සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම මෙහෙයුම් මන්නාරම වෙඩිතලතිව්, සවුත්බාර්, වන්කාලෙයි, පුත්තලම උඩප්පුව, උදයුර්පුති, වාකරේ කන්ඩලඩි, කළුවන්කේනී, පල්චේනයි, සවුක්කඩි, යාපනය මන්ඩතිව්, ත්‍රිකුණාමලය කින්නියා, කොකිලායි සහ ගාල්ල අකුරළ වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදු කර ඇත.
එමෙන්ම නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලිස් විශේෂ කාර්ය බලකාය, මන්නාරම, පුත්තලම, වාලච්චේනයි, මඩකලපුව, මන්ඩතිව්, නානට්ටාන්, කින්නියා හා මුලතිව් ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත සහ ගාල්ල වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.

