නැගෙනහිර පළාතේ සිංහල වැසියන් බහුතරයක් වාසය කරන, මහවැලි අධිකාරිය යටතට පවරාගෙන තිබෙන දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට සුදුසු සහන ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, එම පදිංචිකරුවන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් සහ අදාළ ග්‍රාමයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (13) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මෙම දැනුම්දීම සිදුකළ බවය.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ගමේ මුල් පදිංචිකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීම හෝ වන්දි ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පරීක්ෂණය අවසන් වන තුරු එම ගමේ පදිංචිකරුවන්ට ඔවුන් දැනට සිටින ස්ථානයේම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසත්, ඔවුන්ට පිළිගත හැකි සහනයක් හිමි විය යුතු බවත් සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ගේ එකඟතාවය ඇතිව පෙත්සම විභාගය අවසන් කිරීමට තීරණය කළේය.
අදාළ පරීක්ෂණයෙන් අනතුරුව නිසි සහන නොලැබුණහොත් මෙම නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් යළි කැඳවිය හැකි බවද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේය.

