ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත මාදැල් ධීවරයන් අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
විරෝධතාවයේ නිරත ධීවරයන්ට ජනාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ ජනාධිපතිවරයා ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූ අතර 2010 වසරේ ආරම්භ කර, ශ්‍රමික ගැටලුව හේතුවෙන් 2013 වසරේ සිට වින්ච් ක්‍රමවේදය භාවිත කරමින් ඉදිරියට පත්වාගෙන ආ මාදැල් ධීවර කර්මාන්තය ආශ්‍රිතව මේ වනවිට මතුව ඇති තත්ත්වය පිළිබඳ ධීවරයින් විසින් ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණි.
එමෙන්ම, තමන් මුහුණ දී තිබෙන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සාකච්ඡාව ලබාදීම පිළිබඳවද ධීවර නියෝජිතයෝ ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
ධීවර නියෝජිතයන්ගේ අත්දැකීම් අනුව මතු කළ සියලු කරුණුවලට සාවධානව ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පැණ නැඟී ඇති මෙම ගැටලුවට විසදුම් සෙවීමේදී ආර්ථික වශයෙන් කිසිවෙකුගේ ජීවන තත්ත්වයන් අඩාල කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත්, රජය පෙනී සිටින්නේ සියලු දෙනාගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් බවත් අවධාරණය කර තිබේ.
එසේම, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේදී පොදු ධීවර ජනතාවගෙන් ලැබෙන පැමිණිලි, පරිසර සංවිධාන මෙන්ම මේ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණයන්හි නිරත වන රාජ්‍ය ආයතන, ධීවර අමාත්‍යාංශයට අයත් ආයතන සහ අනෙකුත් ආයතන මගින් ලබාදී ඇති වාර්තාද සැලකිල්ලට ගතයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ධීවර ජනතාවගේ ආර්ථික හානියක් නොවන ලෙසත්, පරිසර සුරක්ෂිතභාවය තහවුරු වන ලෙසත්, අන්තර්ජාතික සම්මූතීන්ට අනුකූලව සහ මතු පරම්පරාව වෙනුවෙන්ද ධීවර කර්මාන්තය සහ සාගර සම්පත් ආරක්ෂාවන ලෙසත්, තහනම් පන්න ක්‍රම භාවිතයට පැමිණීම වැළැක්වෙන ලෙසත් කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදි.
එහිදී සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කරගැනීමට මෙහිදී එකඟතාව පළ කෙරුණු අතර, විරෝධතාව නතර කිරීමටද තීරණය කෙරුණි.
අදාළ සාකච්ඡා සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන සඳුදා දින ආරම්භ කිරීමටද මෙහිදී තීරණයවී තිබේ.
සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ දැනට මෙම ක්‍රමය යටතේ ධීවර කර්මාන්තයේ නියතු වූවන් මුහුණ දෙන කල්බදු ආදී ගෙවීම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශය සමගද සාකච්ඡාවක් ලබා දීමටත් මෙහිදී වැඩිදුරටත් එකඟතාව පළ කෙරුණි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ යන මහත්වරුද, මාදැල් ධීවර ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්වී තිබුණි.

