ගාසා සටන් විරාමයට ඊශ්‍රායල රජයේ අනුමැතිය හිමිවේ

israel-tt

ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම ඊශ්‍රායල රජය විසින් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව, ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය තීරණය කිරීමට නියමිතව තිබුණු අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඒ සඳහා ඇමතිවරුන් 24 දෙනෙකු විසින් ඡන්දය ප්‍රකාශ කර ඇති බවත්, අට දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අනුව ඉරිදා සිට මෙම සටන් විරාමය ක්‍රියාත්මක වන බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ගිවිසුම අදියර තුනකට බෙදා ඇති අතර, ඊශ්‍රායල සිර ගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් ගණනාවක් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කිරීමෙන් එය ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රදේශයට බෝම්බ හෙලීම අඛණ්ඩව සිදුවී ඇති අතර, සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවත් කාන්තාවන් සහ ළමුන් 65 ක් ඇතුළුව පුද්ගලයින් 116 දෙනෙකු මිය ගොස් ඇති බවයි හමාස් විසින් මෙහෙයවන සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසන්නේ.