කස්සප හිමි බන්ධනාගාරයෙන් දුන් දාන වේල ප්‍රතික්ෂේප කරයි….

News Iamges.00_00_00_03.Still1378

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල උන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට අයත් භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේදී ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව්නමක් සහ තවත් සැකකරුවන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කර තිබුණි.

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාර භූමියේ දහම් පාසල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් පසු විහාරාධිපති හිමියන් හා දායක සභාව එම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට ඉකුත් නොවැම්බර් 16 වනදා පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අදාළ ඉඩමේ ඉදිකිරීම් අනවසර බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය ස්වාමීන් වහන්සේ දැනුවත් කර තිබූ අතර පසුව එදින රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාව එම භූමියෙන් ඉවත්කිරීමට පොලිසිය කටයුතු කළේය.

එහිදී නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබූ අතර පහරකෑමට ලක්වූ බව කියමින් ස්වාමීන්වහන්සේ දෙනමක් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

ඇතිවූ විරෝධතාව මත පසු දිනම නැවතත් බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයේම තැන්පත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

මෙවන් පසුබිමක ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන්නැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් ඉකුත් නොවැම්බර් 19 වනදා සලකා බැලුණි.

එහිදී ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ ගැටලුව සාමකාමී ලෙස විසඳාගන්නැයි අභියාචනාධිකරණය අදාළ පාර්ශ්ව වෙත දැනුම්දුනි.

මෙවැනි පසුබිමක ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටලුකාරී සිදුවීම සම්බන්ධයෙන් වූ නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි කැඳවා තිබුණි.

එහිදී අදාළ නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටි 11 දෙනා අතරින් 09 දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම පිරිස අතරට ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

මෙහිදී සිදුවීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ට එරෙහිව වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ අනවසර ඉදිකිරීම් යන චෝදනා යටතේ කරුණු දක්වා තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු ස්වාමින් වහන්සේ සිව් නමද, සෙසු සැකකරුවන් පස්දෙනාද ජනවාරි 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.