උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබාදෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
චීන රජයේ ආධාර මත නවීකරණය කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය, අධිකරණ කටයුතු සඳහා යළි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය, මෙරට අධිකරණ අමාත්‍යාංශය සහ චීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.
එහිදී උපරිමාධිකරණයේ මුල් පෙනුම සහ ව්‍යුහය ආරක්ෂා කරමින්, නවීන තාක්ෂණයෙන් යුතුව නව පුද්ගල, සත් පුද්ගල, පංච පුද්ගල සහ ත්‍රිපුද්ගල විනිශ්චයාසන සහිත නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය ශාලා 07ක් එක්කර ඇත.
එමෙන්ම විනිසුරුවරු සඳහා නව නිල කාමර 20ක් සහ කාර්ය මණ්ඩල පහසුකම්, විදුලි සෝපාන, නවීන පුස්තකාලයක්, නඩු වාර්තා කාමරයක් සහ ශ්‍රවණාගාරයක්, සියලු ස්ථාන ආවරණය වන පරිදි ස්වයංක්‍රීය කැමරා පද්ධතියකින් යුත් අතිනවීන පාලක මැදිරියක් ඇතුළු නවීන පහසුකම් රැසකින් උපරිමාධිකරණ සංකීරණය ප්‍රතිසංස්කරණය කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“1988 වසරේදී චීන රජයේ සහයෝගයෙන් ඉදිවූ මෙම සංකීර්ණය, දශක තුනකට පසු කාලීන අවශ්‍යතා මත මෙලෙස නවීකරණය කිරීම අතිශය වැදගත් පියවරක්.
අධිකරණ යටිතල පහසුකම් සඳහා කරන ආයෝජනය යනු සැබවින්ම මහජන විශ්වාසය වෙනුවෙන් කරන ආයෝජනයක්. සුරක්ෂිත සහ කාර්යක්ෂම පරිසරයක් මඟින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය තවදුරටත් ශක්තිමත් වෙනවා”.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු චීන රජය ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අග්‍රාමිත්‍යවරිය, යුක්තිය සැමට සමානව ඉටුවනු ඇතැයි යන මහජන අපේක්ෂාව ඉටු කිරීමට මෙම නවීන පහසුකම් පිටුවහලක් වනු ඇතැයි ද විශ්වාසය පළ කළාය.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අගවිනිසුරු පද්මන් සූරසේන, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොං, නීතිපති පරින්ද රණසිංහ යන මහත්වරුන් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් පිරිසක් සහභාගී වූහ.

