ඉදිරි අයවැය සඳහා වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා කිහිපයක්…

News Iamges.00_00_00_00.Still584

ඔටෝ මොබයිල් සහ විද්‍යුත් උපකරණ කර්මාන්ත සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණි.

වත්මන් ආණ්ඩුව විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය හේතුවෙන් වාහන ආනයන ක්ෂේත්‍රය පුළුල් වූ බව සඳහන් කළ වාහන ආනයනකරුවෝ ඉදිරි අයවැය සඳහා ඵලදායි යෝජනා කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කර තිබේ.

විද්‍යුත් උපකරණ ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන් ක්ෂේත්‍රය තුළ මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් බදු ගෙවීමකින් තොරව හොර රහසේ මෙරටට ගෙන එනු ලබන විද්‍යුත් උපකරණ හේතුවෙන් වෙළෙඳපොළ අසමතුලිතතාවක් මෙන්ම, භාණ්ඩවල ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බවද විද්‍යුත් උපකරණ ආනයනකරුවෝ මෙහිදී පෙන්වා දුන්නේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් ලබාදුන් සියලු ඵලදායි යෝජනා ඉදිරි අයවැය සකස් කිරීමේදී යොදා ගන්නා බවත්,  ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය නම් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

බදු දැලෙන් රිංගා භාණ්ඩ ආනයනය කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණි.

මෙරට ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට බැංකු ක්ෂේත්‍රයේ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම,  සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පුළුල් කිරීම සහ නව රක්ෂණ ක්‍රම හඳුන්වාදීම ආදිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සියලු යෝජනා පිළිබඳ ඉදිරි අයවැයේදී අවධානය යොමු කරන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.

රක්ෂණ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් හට පූර්ව අයවැය සාකච්ඡාවකට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය බව මෙහිදී සඳහන් කළ එම පාර්ශ්වකරුවෝ එම ආරාධනාව සම්බන්ධයෙන් රජයට සිය ප්‍රසාදය පළ කර තිබුණි.

තවද සමුද්‍රයීය භාණ්ඩ ප්‍රවාහන සැපයුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ව අයවැය සාකච්ඡාවක් ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.

ඒ, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.