ආචාර්යවරුන්ගේ වැඩවර්ජනයෙන් සරසවි කටයුතු අඩාළයි…..

News Iamges.00_00_00_00.Still713

තම ගැටලුවලට රජයෙන් විසඳුම් නොලැබුණු බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) සියලු විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක නිරත වේ.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල දේශන ඇතුළු කටයුතු ක්‍රියාත්මක කෙරුණේ නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයාම මෙන්ම ඔවුන් නිසි ලෙස බඳවා නොගැනීමේ පසුබිම තුළ මතුව ඇති ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් ගැටලුව, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු නොවීම, පර්යේෂණ වෙනුවෙන් වන ප්‍රතිපාදන තවදුරටත් පහළ මට්ටමක පැවතීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ තම ගැටලු පිළිබඳව අවස්ථා ගණනාවකදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවය.

එක්දින වැඩවර්ජනය හේතුවෙන්, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය ඇතුළු දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක දේශන පැවැත්වීම ඇතුළු සියලු අධ්‍යයන කටයුතු අඩාල වී තිබේ.

මේ අතර, තම ගැටලුවලට කඩිනමින් විසඳුම් දෙන්නැයි ඉල්ලා ආචාර්යවරුන් අද දහවල් විශ්වවිද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වුණි.