අස්වැසුම සුභසාධන යෝජනා ක්‍රමයේ නිර්ණායක සංශෝධනයට උපදෙස්….

News Iamges.00_00_00_03.Still1351

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පවතින නිර්ණායක සංශෝධනය කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

වර්තමානයේ අස්වැසුම යෝජනා ක්‍රමය සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතා වන නිර්ණායක 22 තුළ ගැටලු රැසක් පවතින බව කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර, ඉදිරියේදී තෝරාගැනීමට නියමිත අස්වැසුම ප්‍රතිලාභීන් නව හා සංශෝධිත නිර්ණායක යටතේ තෝරාගැනීමට කටයුතු කරන ලෙස ද නිලධාරීන්ට දැනුම් දී ඇත.

මෙම කරුණු පිළිබඳ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී සිදු කෙරුණි.

එහිදී 2025 දෙසැම්බර් 15 දිනැති අංක 2467/03 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 9 වන වගන්තිය යටතේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය දීර්ඝ කිරීම පිළිබඳවද සළකා බැලීය.

අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ සංක්‍රාන්තික, අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ සඳහා ප්‍රතිලාභ ලබාදී ඇති අතර, සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ප්‍රතිලාභ ගෙවීම් 2025 අප්‍රේල් 30 වන දිනෙන් අවසන් වී ඇති බව කාරක සභාවට දැනුම් දෙන ලදී.

නව සංශෝධන අනුව ඉදිරියේදී අවධානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු කාණ්ඩ සඳහා පමණක් ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.

කෙසේ වෙතත්, අනපේක්ෂිත ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි සමාජ ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින්, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා ගෙවීම් 2026 ජූනි මාසය දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව ද ඔවුහු සඳහන් කළහ.

එමෙන්ම අබාධිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබන පුද්ගලයන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයන් සඳහා වන දීමනාද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කාරක සභාවට දැනුම් දෙන ලදී.

මෙහිදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන කාර්යභාරය පිළිබඳවද කාරක සභාව අවධානය යොමු කළ අතර, පවුල් ලක්ෂ 20ක් ක්‍රමානුකූලව සවිබලගැන්වීම සඳහා විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැටුප් හා පරිපාලන කටයුතු සඳහා වාර්ෂිකව වැය වන මුදල පිළිබඳවද කාරක සභාව විමසා සිටියේය.

ඒ අනුව වාර්ෂිකව රුපියල් බිලියන 22කට අධික මුදලක් වැය වන අතර, 2026 වසර සඳහා වැටුප් සහ සවිබලගැන්වීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 27.38ක් වෙන් කර ඇති බව නිලධාරීහු දැනුම් දුන්හ.

කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී අදහස් දක්වමින්, සවිබලගැන්වීමේ කටයුතුවලට සාපේක්ෂව අතිවිශාල මුදලක් වැටුප් සහ පරිපාලන කටයුතු සඳහා වෙන් කිරීම කෙතරම් ඵලදායීද යන්න ප්‍රශ්න කළේය.

එසේම, මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ප්‍රජා සවිබලගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳව පසු විපරමක් හෝ ස්වයං ඇගයීමක් සිදු කර ඇතිද යන්නද නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

එවැනි ඇගයීමක් සිදු කර නොමැති බව නිලධාරීන් පිළිගත් අතර, ඒ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන සියලුම සුභසාධන සහ සවිබලගැන්වීමේ වැඩසටහන් ඇතුළුව අනෙකුත් සියලු සුභසාධන ව්‍යාපෘති ස්වාධීන ඇගයීමකට ලක් කිරීමට මුදල් අමාත්‍යාංශයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.