අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙකු, නිලධාරිනියක් සහ සිවිල් පුරවැසියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි පළමු සැකකරු ලී මෝලක හිමිකරුවෙක්ය. ඔහු,
පැමිණිලිකරු විසින් ගෝනවල, කැලණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසෙහි උළුවහු, ජනෙල් සකස්කර ගැනීමට මිලදී ගත් දැව, ඉදිකරනු ලබන නිවසට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය රාජකාරි කටයුතු ඉටුකර දීම සඳහා එම දැව මිල දී ගත් ලී මෝලේ හිමිකරුවන පළමු සැකකරු විසින් දෙහිඕවිට අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුම්දීම මත එම නිලධාරීන්ට ලබාදීම සඳහා තුටු පඬුරක් ලෙස රු.10,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීම.
දෙවන සැකකරු වන ක්ෂේත්‍ර සහකාර (කාර්යාලය) නිලධාරියෙක්ය. ඔහු,
පැමිණිලිකරු විසින් උළුවහු, ජනෙල් සකස්කිරීම සඳහා ලී මෝලෙන් ගෙන මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කර දීමේ රාජකාරී කටයුතු සඳහා සහය වීම් වෙනුවෙන් තුටු පඬුරක් ලෙස රු.1,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම.
තෙවන සැකකරු වන ක්ෂේත්‍ර සහකාර (කරවනැල්ල) නිලධාරියෙක්ය. ඔහු,
ලී මෝලෙන් ගෙන මිල දී ගෙන ඇති කොස් දැව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර සකස් කරදීමේ රාජකාරි කටයුතු සඳහා රු.10,000ක මුදලක් අල්ලස් වශයෙන් පැමිණිලිකරුගෙන් මුලින් ඉල්ලා පසුව, 2026.03.17 වන දින ලී මෝල වෙත පිටව ගොස් එම දැව කඳන් පරීක්ෂා කර ප්‍රවාහන බලපත්‍ර ලබාදීමට අවශ්‍ය රාජකාරී කටයුතු ඉටු කර දීම වෙනුවෙන් පළමු සැකකරුගෙන් තුටු පඬුරක් ලෙස රු. 3,000ක මුදලක් අල්ලස් වශයෙන් භාර ගැනීම
හතරවන සැකකරු බිට්ටු වන (දැරණියගල) නිලධාරීයෙක්ය. ඔහු,
බලපත්‍රයට නිර්දේශය ලබාදීම වෙනුවෙන් පළමු සැකකරුගේ තුටු පඬුරක් ලෙස රු.3,000ක මුදලක් අල්ලස් වශයෙන් භාරගැනීම.
පස්වන සැකකාරිය වන ක්ෂේත්‍ර සහකාර (කාර්යාලය) නිලධාරිනියක්ය. ඇය,
බලපත්‍ර සකස් කරදීමේ රාජකාරී කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් තුඩු පඬුරක් ලෙස රු.1,000ක මුදලක් පළමු සැකකරුගෙන් අල්ලස් වශයෙන් භාර ගැනීම.
ඒ අනුව අදාළ සැකකරුවන් පිළිවෙළින් ඊයේ (17) පිළිවෙළින් ප.ව. 3.20, ප.ව. 3.42, ප.ව. 4.05, ප.ව. 4.32 සහ ප.ව 5.02ට පමණ පළමු සැකකරු, ඔහුගේ නමින් ඇති ලී මෝල තුල දී සහ අනෙක් සැකකරුවන් දෙහිඕවිට අඩවි වන කාර්යාලය තුළදී ද අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

