2022 වසරේ අරගලය පැවති සමයේ අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළේය.
රැඳවුම් භාරයේ සිටි වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා මෙම තීන්දුව ලබා දුනි.
2022 වසරේ අගෝස්තු මස 18 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත් වූ විරෝධතාවයකින් අනතුරුව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහුගේ නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බවය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම වසන්ත මුදලිගේට ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් වුණි.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට ගෙන තිබූ තීරණය සාධාරණීකරණය කිරීමට වග උත්තර කරුවන් අපොහොසත් වී ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1), 13(1) යන ව්‍යවස්ථාවලින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් වග උත්තරකාර පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඒ. කේ. ගමගේ විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල තීන්දු කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාවින්ද පියසේකර ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

