අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් තොරතුරු හෙලිවෙයි….

News Iamges.00_00_00_00.Still1470

අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් සබඳතාවක් මුල් කරගනිමින් සිදුවූවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඊයේ (27) රාත්‍රියේ 28 හැවිරිදි පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

නිවසක සාදයක් අතරතුර එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසින්ම අදාළ තරුණයාට වෙඩිතැබීම සිදුකර ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලීසිය සඳහන් කළේය.

මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.

ඝාතනයට ලක්වූ තරුණයා අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ හිතවතෙකු වන බවද පැවසෙයි.

කෙසේවෙතත් මෙම ඝාතනය අනියම් සබඳතාවයක් මුල් කරගනිමින් සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාධ කල්ලි සාමාජික කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ වෙඩික්කරුවෙකු වන ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තාගේ බිරිඳ සමග ඝාතනයට ලක්වූ තරුණයා සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඊට උරණ වූ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවද සඳහන් වෙයි.

ලලන්ත ප්‍රිතිරාජ් හෙවත් ‘ලලා’ නමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ඝාතනය මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.