රෝහිත රාජපක්ෂගේ මූලිකත්වයෙන් යවනු ලැබූ සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැති හරිනි අමරසූරිය විසින් ඊයේ (06) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ කරුණුවල දත්තවල යම් වැරැද්දක් සිදුව ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
එහිදී අමාත්‍යවරයා අද (07) රැස්වූ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, අගමැතිනිය සඳහා මෙම තොරතුරු ලබා දී ඇත්තේ BOI සමාගමක් විසින් බවත්, එහිදී තොරතුරු ලබාදෙද්දී මෙන්ම තොරතුරු ලබාගෙන සටහන් කිරීමේදී සංඛ්‍යා ලේඛන සටහන් කිරීමේ දී යම් වැරැද්දක් සිදුව ඇති බවයි.
පොදුවේ “චීචීගේ රොකට්ටුව” ලෙස හැඳින්වූ මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බවත්, අදාළ චන්ද්‍රිකාව පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බවත් ඔහු එහිදී සඳහන් කළා.
අමාත්‍ය වසන්ත සමරසිංහ තවදුරටත් සඳහන් කළේ, සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ විෂමතා කිහිපයක් සොයාගෙන ඇති බවයි.
දැනට පවතින දත්ත අනුව, සුප්‍රීම් සැට් පුද්ගලික සමාගම 2012 මැයි මාසයේදී චන්ද්‍රිකා පද්ධතියක් ස්ථාපිත කිරීමට සහ විදුලි සංදේශ සේවා සැපයීමට BOI සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ව්‍යාපෘතිය එම වසරේම නොවැම්බර් මාසයේදී දියත් කර තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, 2012 දී සමාගම රුපියල් බිලියන 12.14ක් වත්කම් ලෙස ප්‍රකාශ කර ඇති බවත්, 2013 සහ 2014 මූල්‍ය වාර්තාවල බදු දීමේ පදනම මත ලබාගත් චන්ද්‍රිකාවක් සඳහා රුපියල් මිලියන 12ක ආයෝජනයක් පෙන්නුම් කරන බවයි.
නමුත් 2014 සහ 2015 මූල්‍ය වාර්තාවල කලින් ප්‍රකාශ කළ වත්කම්, වගකීම් සහ ආයෝජන පිළිබඳ විස්තර අඩංගු නොවන බව පෙන්වා දුන් ඔහු, චන්ද්‍රිකාවේ පිහිටීම ද සොයාගත නොහැකි බව පැවසුවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

