IMF මූල්‍ය සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සිදුකළ යුතු කාර්යයන් සිදුකර අවසන් – ජනපති

ranil-parliment-new

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ චීනයේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් මෙම මූල්‍ය සහනය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම මාසය අවසන් වීමට ප්‍රථම සිය කටයුතු සිදුකරනු ඇති බවයි ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව ලබා ගැනීමට ප්‍රථම ඔවුන් විසින් ප්‍රකාශ කළ කටයුතු කිහිපයක් කිරීමට සිදුවූ බවත් විදුලි මිල සංශෝධනය, ඛනිජ තෙල් මිල සංශෝධනය, මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම වැනි කටයුතු සිදු කිරිමට සිදුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එකඟතාව ලැබුණු පසු ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතිකරගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.