EPF/ETF කොල්ලයට සහ අසාධාරණ කම්කරු නීතිවලට එරෙහිව වෘත්තීය සමිති රැසක් විරෝධතාවක

epf-etf-protest

සේවක අරමුදල් කොල්ලයට හා අසාධාරණ කම්කරු නීති සංශෝධනයට එරෙහිව අද (25) කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

මේ සඳහා වෘත්තීය සමිති රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ වර්ෂාව මධ්‍යයේ සිය විරෝධතාව දැක්වීමට කටයුතු කර තිබුණා.

මෙහිදී විරෝධතාවට එක්වෙමින් අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සඳහන් කළේ, සේවක අර්ථසාධක අරමුදල කොල්ලකන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව හකුලාගන්නා තුරු මෙම සටන ඉදිරියටම සිදුකරන බවයි.

සේවක අර්ථසාධක අරමුදලට අත තැබීම නවත්වන ලෙසත්, ඊනියා කම්කරු නීති හකුලා ගන්නා ලෙසත්, ආණ්ඩුවට බලකර සිටින බවද අද පැවති විරෝධතාව සංකේතාත්මක විරෝධතාවක් පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.