යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මහේෂ්

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර තිබේ.

2016 වසරේ නොවැම්බර් 04 වන දින සිට හෙතෙම යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි අතර මේජර් ජෙනරාල් යූ.ඒ.බී මැදවල මහතාගෙන් පුරප්පාඩු වූ මාණ්ඩලික තනතුරේ හෙතෙම අද වැඩබාර ගන්නා ලදී.

ඔහු 1981 ඔක්තෝබර් 16 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 16 (දිගු කාලීන පාඨමාලා) යටතේ සිය මූලික පුහුණවීම් ලබා 1983 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන්වරයෙක් ලෙස අධිකාරියට පත්ව 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට එක්වූවේය. හෙතෙම තමා හැදෑරූ එම පාඨමාලාවේ හොඳම නිලධාරියාට පිරිනැමෙන සම්මානය සහ අසිපත ද දිනා ගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද හමුදාව තුළ වගකීම් බහුල තනතුරු රැසක් හෙබවූ මේජර් ජෙනරාල් සේනානායක ශ්‍රී ලංකා යුද හමුදා ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් අණදෙන නිලධාරි/ බලඝණ නිලධාරි ආදි නිලයන් හෙබවූ අතර, දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ උපදේශකවරයෙක් ලෙස ද ක්‍රියා කළේය. අන්තර් ඒකක නිලධාරි මාරුකිරීම්වල ප්‍ර‍තිඵලයක් ලෙස මේජර් ජෙනරාල් සේනානායක 1989 වසරේ සිට විශේෂ බලකායට අනුයුක්ත කෙරිණි.

හෙතෙම ශ්‍රී ලංකාව තුල පැවති උතුරු – නැගෙනහිර යුද්ධයේ දී ප්‍ර‍ධාන හමුදා මෙහෙයුම් රැසකට සිය දායකත්වය ලබා දුන්නේ 1 වන විශේෂ බලකායේ බලඝණ නිලධාරි ලෙස සහ දිගු දුර විහිදුම් බලකාය හා දිගු දුර මුර සංචාර ශ්‍රී ලංකා යුද හමුදාවට හඳුන්වා දුන් 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කරමිනි. විශේෂ බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, 211 පාබල බලසේනාවේ (වව්නියාව) බල සේනාධිපති, විශේෂ බලකා බලසේනාවේ බල සේනාධිපති සහ 52 සේනාංකයේ (යාපනය, වරණිහි පිහිටි) සේනාංකාධිපති ලෙස ද එතුමා කටයුතු කළේය.

යුද්ධය පැවති සමයේ විවිධ කාලයන් තුල 52 සේනාංකයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරි ලෙස ද ක්‍රියා කලහ. යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියාමන උපදේශක වශයෙන් මෙන්ම මානුෂීය මෙහෙයුම් සමයේ තීරණාත්මක අවධියේ සැලසුම් අධ්‍යක්ෂ ලෙස ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම යුද හමුදා මූලස්ථානයේ හමුදා ලේකම් ලෙස ද මේජර් ජෙනරාල් සේනානායක කටයුතු කළේය.

තව ද මේජර් ජෙනරාල් සේනානායක එක්සත් රාජධානියේ යුද හමුදා අණ දෙන සහ ප්‍ර‍ධාන මාණ්ඩලික විදුහලේ සිවිල් ඉංජිනේරු විද්‍යාවේදි උපාධිධරයෙකි. යුද මෙහෙයුම්වල දී දැක්වූ දැඩි කැපවීම සහ දක්ෂතාවය වෙනුවෙන් රණවික්‍ර‍ම පදක්කම, රණශූර පදක්කම මෙන්ම යුද හමුදාව තුල සිදු කළ නිකැළැල් සේවාව වෙනුවෙන් උත්තම සේවා පදක්කම ද එතුමා වෙත පිරිනමා ඇත. මේජර් ජෙනරාල් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති ධූරය සහ විශේෂ බලකායේ බලකාධිපති ධූරය හොබවන ලදී.

2015 ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජයේ ප්‍රමඛත්වය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වයෙහිලා සැලකිය යුතු බව ශ්‍රී ලංකා රජය පිළිගෙන තිබේ.

යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා රජය එක්ව ප්‍රකාශයට පත්කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙයි.

යුරෝපා සංගමය යටතේ නීතිය, සාමය හා මානව හිමිකම් පිිළිබඳ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිතයින් ලෙස  ශ්‍රී ලංකා රජය-යුරෝපා සංගමය ඒකාබද්ධ කොමිසමේ මාර්තු 13-14 යන දෙදින පැවති දෙවන රැස්වීමෙන් අනතුරුව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.

2015 වසරේ දී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වු යෝජනාවේ සදහන් කරුණු ක‍්‍රියාත්මක කිරීමට මේ වන තෙක් කාලය හිමි වු අතර එහි ඇතුළත් යෝජනා ක‍්‍රියාත්මක කිරීම සදහා මාස 12 ක කාලයක් හිම ව තිබේ.

මෙහිදී දෙපාර්ශවයම දේශීය හා ගෝලීය වශයෙන් මානව හිමිකම් ප‍්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම හා ඔවුන් කැපවීම තහවුරු කළ යුතු අතර මානව හිමිකම් සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කිරීමට ද සහයෝගයෙන් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කර තිබේ.
එමෙන්ම ලබා ඇති ප‍්‍රගතිය අදහස් ප‍්‍රකාශ කිරීම හා මාධ්‍ය නිදහස පවත්වා ගෙන යෑම තුළින් සිවිල් සමාජය ශක්තිමත් කිරීම හා ස්ත‍්‍රී හා ළමා අයිතිවාසිකම් සුුරැුකීම හා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබද කතා කිරීම යන ආදී කරුණුවල ඇති වැදගත්කම පිළිබදව ද මෙහිදී අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.
එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකාවේ කළ සංචාරය මෙන්ම 2015 යෝජනාවේ ඇතැම් කරුණු ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකාව සමත්වීම පිළිබදව පැසසීමට ලක් කරමින් මෙම යෝජනා සැසිවාරයට ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ධුරය අකිලට ???

ලඟදි පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍ය ධුරය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත පැවරීමට තීරණය කර ඇතැයි ‘සිරිකොත’ එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඔහුට එම අමාත්‍ය ධුරය පවරනු ලබන්නේ ඔහු දැනට දරන ඇමති ධුරයට අමතරව බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඇමති, නියෝජ්‍ය ඇමති හා ලේකම් යන තිදෙනාම වෙනස්වන බවට වරින් වර විවිධ වාර්තා පළ විය.

පසුගියදා ජාතික රූපවාහිනියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යංශ ලේකම් නිමල් බෝපගේ මහතා ප්‍රකාශ කර සිටියේ තමන් ලේකම්ධූරයේ සිටින්නේ තවත් සුලු කාලයක් බව තමන්ට හැගී යන බවයි.

ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසා සිටියේ ජනමාධ්‍ය ඇමතිධූරය ඇතුලු ඇමතිධූර රැසක් සංශෝධනය කිරීම සඳහා තීරණය කර ඇති බවයි.

අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතාද වෙනත් අමාත්‍යංශයකට පත්කරනු ඇතැයිද එම ආරංචිමාර්ග ප්‍රකාශ කර සිටියේය.

ඇමති, නියෝජ්‍ය ඇමති හා ලේකම් යන තිදෙනාම වෙනස්වන එකම අමාත්‍යංශය ජනමාධ්‍ය අමාත්‍යංශය වන අතර මීට හේතුව වී ඇත්තේ අමාත්‍යංශයේ ඇතිවූ බලඅරගලය බවද පැවසේ.

මෙම සංශෝධනයෙන් පසු ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය හා රජයේ මුද්‍රණාලය හැර අනෙක් සියලුම ආයතනවල සභාපතිවරුන් අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් වෙනස් කිරීමද සිදු කිරීමට නියමිත බවත් අගමැති කාර්යාල අරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයක් ආණ්ඩුවට සෘජු අලාභයක් සිදුකර ඇත්නම් රජයට එය අයකර ගත හැකියි: නීතිපති

ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පාර්ශවයක් ආණ්ඩුවට සෘජු අලාභයක් සිදුකර ඇත්නම් රජයට එය අයකර ගත හැකි බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියි.

නීතිපතිවරයාගේ අත්සනින් යුතුව කථානායකවරයාට යොමු කොට 07 වන දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලිපිය මගින් හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කෝප් කමිටුව විසින් තමා වෙත යොමුකරන ලද වාර්තාවේ මුදල් අවභාවිතයක් හෝ ගනුදෙනු සිදුකිරීමේදී නීතියට පටහැණිව එය සිදුවිය හැකි බව දක්වා ඇති බවත්, 1937 ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත යටතේ කිසියම් පුද්ගලයෙකු අදාළ රෙගුලාසි, විධිවිධාන හා මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට අසමත් වන්නේනම් දඬුවම් ලැබිය හැකි වරදක් බවද නීතිපතිවරයා එම ලිපියෙන් පෙන්වාදී තිබේ.

දැනට මේ සිදුවීම සම්බන්ධයෙන් වත්මන් මහබැංකු අධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කඩිනම් කරන ලෙස තමන් උපදෙස් ලබාදී ඇති බවත්, සිදුකෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන  වාර්තාවක් තමන් වෙත යොමුකරන ලෙස දන්වා ඇති බවත් නීතිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

ලොස් ඇන්ජලීස් ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් නිල නිවසේ සුපිරි සැප වින්ද අභිරහස් යුවල කව්රුන්ද

ඉකුත් 2013 වසරේ අගෝස්තු මස සිට 2015 ජූලි මස දක්වා රාජක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පිහිටා ඇති ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්්‍යාලයට අයත් නිල නිවසේ ලැගුම් ගනිමින් එහි සුපිරි පහසුකම් අයථා ලෙස භුක්ති විදි අභි රහස් යුවලක් පිළිබද  වාර්තා  වී ඇත.

ලොස් ඇන්ජලීස් නුවර  පදිංචි ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙම පවුල හා මහින්ද රාජපක්ෂ අතර දැඩි සමීප සබදතාවක් පැවති බවයි.

මේ පිළිබද තතු අනාවරණය වීම ආරම්භ වූයේ  විදේශ කටයුතු අමාත්‍යංශයේ විගණකාධිපතිවරුන් විසින් ලොව පුරා මෙහෙය වූ සෙසු ශ්‍රී ලාංකේය මෙහෙයුම් වලට සමගාමීව ලොස්ඇන්ජලීස් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්්‍යාලයේ ද සිදු කළ මූල්‍ය විගණන කටයුතු හරහාය. එම විගණන කටයුතු වලින් 2013 වසරේ සිට 2015 දක්වා කාලයේ සිදු වූ මූල්‍යමය අක්‍රමිකතා කිහිපයක තතු මේ වන විට අනාවරණය වෙමින් පවතී.

කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර Glendale නගරයේ පිහිටා ඇති  ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්  නිල නිවසේ වහා ක්‍රියාත්මක කළ FCID පරීක්ෂණ වලින්  මෙම විගණන පිළිබද තොරතුරු හෙළි වී තිබේ.  ‍මෙම ඉඩ පහසුකම් සහිත සුඛෝපභෝගී නිවස එවක කොන්සාල් ජෙනරල්  ආචාර්්‍යය හෙක්ටර් වීරසිංහ මහතා විසින් මසකට ඩොලර් 8200ක මුදලට කුලියට ගෙන ඇත. 2013 වසරේ ජූලි මස 30 වනදායින් හෙක්ටර් වීරසිංහ මහතාගේ නිල කාලය හමාර වී ඇති අතර එබැවින් එම නිල නිවසින් ඔහු පිටව ගොස් ඇත.  ඔහුගෙන් පසුව මල්රාජ් ද සිල්වා මහතා අදාල ධූරය සදහා පත්වීම් භාර ගනු ලැබූවද ඔහු මෙම නිල නිවස සිය පදිංචිය සදහා භාවිතා ක නැති බව වැඩි දුර ආරංචි මාර්ග සදහන් කර සිටියි.

ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලාංකේය කොල්සාල් ජෙනරාල්වරයාට අනුව  මෙම  කාර්්‍යාලයීය නිල නිවසේ සියලු වරප්‍රසාද රිසි පරිදි භුක්ති විදි යුවල සදහා එම ස්ථානය ලබා දී ඇති ක්‍රම වේදය ද අභිරහසක්ය. තවද ශී ලංකා බදු ගෙවන්නන්ට මේ වෙනුවෙන් 2013 වසරේ අගෝස්තු මස සිට 2015 ජූනි දක්වා ගෙවීමට සිදු වූ පිරිවැය ඩොලර් 174300/- ක් පමණ බවද වාර්තා වේ. බොස්ටන් ලංකා විසින් ලොස් ඇන්ජලීස් කොන්සාල් ජෙනරල් කාර්්‍යාලය සම්බන්ධ කරගත් අවස්ථාවේ එහි සේවයේ නියුතු ස්වර්ණා ගුණරත්න විසින් මේ බව සනාථ කරනු ලැබිණි. මීට අමතරව නිල නිවස යළි බාර දීමේදී  නිවස ඉතා හොද තත්ත්වයේ පවතින්නේ නම් භාවිතා කළ පුද්ගලයාට යළි ලබා දෙන ඩොලර් 10000/-ක ආරක්ෂිත තැන්පතු මුදලට සිදු වූයේ කුමක්ද යන්න කිසිවෙකු දන්නේ නැත.

කෙසේ වුවත් අනාවරණය වන පරිදි එහි සුපිරි පහසුකම් භාවිතය සහ විශාල කුලී මුදල පමණක් නොව නිල නිවස සදහා අනුයුක්ත කර තිබූ රියැදුරන් දෙදෙනාට මෙම අභිරහස් යුවල සදහා වසර 2ක් පමණ සේවය කිරීමට ද සිදුව ඇත. එම අදාල කාලය තුළ   ලොස් ඇන්ජලීස් හි ඔවුන්ගේ වැටුප් ගෙවීමට බලයලත් ශ්‍රී ලාංකේය කොන්සල්වරයාට සම්බන්ධ  නිළධාරියා වන මහේෂ් කුමාර්  මහතා වෙත මේ වන තුරුම ඔවුන් සේවය වාර්තා කර නොමැති බවද හෙළි වී ඇත.

නමුත් රියදුරන් විසින් පවත්වාගෙන ගොස් තිබූ ලොග් සටහන්වලට අනුව සොයාගෙන ඇත්තේ ඔවුන් දිනපතා Pomona College සිට  California ප්‍රාන්තයේ Claremontනගරයට දිනපතා ගමන් බිමන් සිදු කර ඇති බවයි. ඔවුහු මෙලෙස Glendale සිට Claremont දක්වා ගමන් බිමන් සිදු කිරීමට හේතු අනුමාන කිරීමට හැකි සාක්ෂි බොහොමයක්  හමු වුවද ඒ කිසිවක්  නිල කොන්සාල් කටයුතු සම්බන්ධ කටයුතු නොවීම විශේෂත්වයකි.

මේ වන විටත්  ලොස් ඇන්ජලීස් හි පිහිටි කොන්සාල් කාර්්‍යාලයේ සිදු වූ බවට සැක කෙරෙන මෙම අනිසි මුදල් භාවිතය සහ මූල්‍යමය අක්‍රමිකතා පිළිබද FCID විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

වෙසක් දින සැමරැම නරේන්ද්‍ර මෝදී මහතාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර වෙසක් දින සැමරැම එළඹෙන මැයි මස 12 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව අධිකරණ හා බුද්ධශාසනසදහන් කරයි.

2017 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින ජාත්‍යන්තර කමිටුවේ දෙවන දින ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණි.

එම රැස්වීම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, එහිදී ශ්‍රී ලංකාව මෙම උළෙල සංවිධානය කිරීමට මෙතෙක් ඉටු කරන ලද කාර්යය භාරය අධ්‍යනය කර, සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුවේ පූර්ණ අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍යංශය අවධාරණය කරයි.

, “Buddhist Teaching for Social Justice and Sustainable Peace” තේමාව පදනම් කරගෙන, දෙවන දිනය ආර්ථිකය හා බුදු දහම, අධ්‍යාපනය හා බුදු දහම, ජන මාධ්‍ය හා බුදු දහම යන උප තේමා යටතේ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය. මෙහි සමාප්ති උළෙල ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වෙන බව එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලය සදහන් කරයි.

ලෝකයේ බෞද්ධ රටවල් හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් රටවල් 85කට ආසන්න බෞද්ධ නායකයින් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම උළෙලට සහභාගී වීමටද නියමිතය, වෙසක් දින උළෙල සංවිධානය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක අමාත්‍ය අනු කමිටුව හා මෙම උළෙලේ සංවිධාන කටයුතු සම්බන්ධව අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටු 10ක් ක්‍රියාත්මක වේ.

එම එම කමිටු විසින් සිදු කරන සියලු කාර්යය භාරයන් වෙන වෙනම අධීක්ෂණය කරමින් එම කමිටුවල සංවිධාන කටයුතු පිළිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින කමිටුව සතුටට පත් වූ බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය තම්පලාවෙල ධම්මරතන හිමියෝ පැවසූහ.

සංඝරාජ හිමිවරුන්, මහා නායක හිමිවරුන්, ජත්‍යන්තර බෞද්ධ ස්වාමීන් වහන්සේලා, බෞද්ධ රාජ්‍ය නායකයින්, විදේශ ආරාධිතයන් ඇතුළු නියෝජිතයින්, නීරීක්ෂකයින් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම උළෙලට සහභාගීවන බව මේ වන විට එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලේකම් කාර්යාලයට දැනුම් දී ඇත.

එසේම මේ වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්, විශේෂ දළදා පෙරහැරක් හා මහා සංස්කෘතික උළෙලක් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමටද නියමිතය. දියවන්නා වෙසක් කලාපය, බෞද්ධ අධ්‍යාත්මික වැඩසටහන්, භාවනා වැඩසටහන්, බෞද්ධ සැරසිලි, දානමය පූජාවන් ඇතුලු ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් එම කටයුතු සංවිධානය කර ඇති බව වෙසක් දින ලේකම් කාර්යාලය සදහන් කරයි.

යොවුන් පාර්ලිමේන්තුව අනාගත පාර්ලිමේන්තුවක කැඩපත : කතානායක

යොවුන් පාර්ලිමේන්තුව තුලින් විද්‍යාමාන වනුයේ අනාගත පාර්ලිමේන්තුවක කැඩපත බවත් වත්මන් පාර්ලිමේන්තුවේ දහතුන් දෙනෙකු වන කාන්තා නියෝජනය යොවුන් පාර්ලිමේන්තුව තුළ එමෙන් දෙගුණයක් වීම සුභවාදී තත්ත්වයක් වුව ද එය තවදුරටත් වර්ධනය කළ යුතු බවත්, ලෝකයේ දියුණු රටවල ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය 30% ඉක්මවන බවත් කථානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමයේ දශක හතක ඉතිහාසයක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණතභාවයට පත් ව ඇතැයි ද තරුණ කැරලි දෙකක් බිහිසුනු යුද්ධයක් මෙන්ම විවිධ දේශපාලන හැප්පිලි ඔස්සේ ඉගෙන ගත් පාඩම් වලින් එම ඉතිහාසය සැකසී ඇති බව අමතක කළ යුතු නැතැයි ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පළ කළේ අද පෙරවරුවේ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනා සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හිදී පැවැති විශේෂ වැඩමුළුවේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වෙමිනි.

වත්මන් පාර්ලිමේන්තුව කෙටි කාලයක් තුල  ආංශික කාරක සභා ක්‍රමය , තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම, ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම, අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැංවීම,  පාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව නැරඹීමට ජනතාවට අවස්ථාව සැලසීම, ලෝකයේ ඕනෑම තැනක සිට පාර්ලිමේන්තුවේ කටයුතු භාෂා ත්‍රිත්වයෙන්ම දැන ගැනීමට ජංගම අන්තර්ජාල යෙදුමක් හදුන්වා දීම, ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම, නව ආචාර ධර්ම පද්ධතියක් සඳහා මූලික පියවර ගැනීම ආදී ඉදිරි පියවර රැසක් තබා ඇති බව ද කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි ජයතිලක, කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීහු ද මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ.

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් තව දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේ ද පැවසීය.

රටේ මිලියන 22 කට ආසන්න ජනතාව අතරින් ඔබට යොවුන් පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර එක්වන්න හැකියාව ලැබීම විශාල භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. මේ ලැබුණ අවස්ථාව රට වෙනුවෙන් යමක් ඉටු කරන්න මූලාරම්භයක් වගේම ඔ‍බේ ජීවිත ගමනටත් හොඳ ආරම්භයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ක්‍රමය වගේම දේශපාලන අභි‍යෝග එදා අපි දේශපාලනයට පිවිසි යුගයට වඩා දැන් වෙනස් වී තිබෙනවා.

මීට දශක කිහිපයකට පෙර දේශපාලනය තුළින් ලැබුවේ රට ‍දැය වෙනුවෙන් සේවය කිරීමේ ආත්ම තෘප්තිය සහ ගෞරවය පමණයි.  වර්තමානයේ තිබෙන ප්‍රභල සන්නිවේදන මාධ්‍ය භාවිතා කර අධම මිනිසෙක් සාන්තුවරයෙකු බවටත්, සාන්තුවරයෙකු මහා ද්‍රෝහියෙකු බවටත් පත් කරන්නට පුළුවන්.

සැබැවින්ම අද වන විට බලය දේශපාලන ප්‍රතිපත්ති අතර, තරඟයකට වඩා ලෝකයේ ප්‍රභල දැන්වීම් ප්‍රචාරක සමාගම්  අතර තරඟයක් බවට පත්ව තිබෙනවා.

නමුත්,  දේශපාලනඥ‍යෙකුට වඩාත්ම ගැඹුරුම ගණුදෙනුව තිබෙන්නේ ස්වකීය හෘද සාක්ෂිය සමගයි. පිරිසිදු දෑතින් දේශපාලනයට පැමිණ පිරිසිදු දෑතින් සමුගෙන යන්නට හැකි නම් දේශපාලනයට පිවිසෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම මන්ත්‍රී ආචාර ධර්ම පිළිබඳව විශාල කතිකාවක් පසුගිය කාලයේ ඇති වුනා.  අපට අද එහි ඉදිරි පියවර රැසක් තබන්නට හැකි වී තිබෙනවා.  ගරු මන්ත්‍රීතුමා කියලා කථා කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් අපට අවශ්‍යයි.  යොවුන් පාර්ලිමේන්තුවටත් මේ ආචාර ධර්ම ඉතාම වැදගත් වේවි.  විශේෂයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට උපරිම ලෙස සහභාගී විය යුතුයි.  එසේ නොහැකි නම් මන්ත්‍රීධූරය භාර ගැනීම කිසිසේත්ම තේරුමක් නැති දෙයක්.  පසුගිය යොවුන් පාර්ලිමේන්තුවලදී වැදගත් හරවත් සංවාද ඇති වුන බව මා දන්නවා.

ඇත්තටම රටේ ‍දේශපාලනය පමණක් නොවෙයි, ලෝක ආර්ථික දේශපාලන  සමාජ ප්‍රවණතා ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි.  අද මුළු ලොවම එකම ගමක් බවට පත්ව තිබෙනවා.  ඒ තුළ ඔබ ලෝක පුරවැසියෙක් බවට පත්ව තිබෙනවා.  අද වන විට අපගේ පාර්ලිමේන්තුව තුළිනුත් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැංවීම ආරම්භ කර තිබෙනවා.

ලෝකයේ විවිධ රටවල පාර්ලිමේන්තු ක්‍රම පිළිබඳව අත්දැකීම් ලබා ගැන්මට මන්ත්‍රීවරුන් අතර දැනුම හුවමාරු කිරීම් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ජනතා අවශ්‍යතා ඉටු කරන්නට යොවුන් පාර්ලිමේන්තුවටත් යම් මුදලක් වෙන් වීම ඉතාම සතුටට කරුණක් බවත්, පසුගිය කාලයේ වෙන් වුණු මුදල්වලට වඩා දියත් කළ ව්‍යාපෘතිවල වටිනාකම විශාල ප්‍රමාණයකින් වැඩි වීම සහ සම්පූර්ණ මුදල් ප්‍රමාණය යොදා ගෙන ඵලදායී ලෙස කටයුතු කිරීම අප පාර්ලිමේන්තුවටත් වැදගත්  ආදර්ශයක් ලබා දී තිබෙන බව ද කථානායකවරයා පැවසීය.

ජනපති සහ ඇමරිකානු කොංග්‍රස් මන්ඩල නියෝජිතයින් අතර හමුවක්

සම්මුතිවාදී රජය ක්‍රියාත්මක කරන සංහිදියා වැඩපිළිවල, ප්‍රජා තන්ත්‍රවාදය තහවුරු කිරීමේ වැඩපිළිවෙළ සහ රටේ ආර්ථික ප්‍රතිපත්තිය ඇමරිකානු කොංගසයේ ඇගයීමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි. ඉකුත් 24 වන දා සවස ජනාධිපති නිල නිවසේ දී ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් පිරිසක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවති හමුවකදී ඒ ඔවුහු ඒ බව පවසා ඇත.

එහිදී ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබදතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන්ද  දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇත. එසේම මෙරට නව සංවර්ධන සැලැස්ම සදහා සහය අපේක්ෂා කරන බවද ජනපති වරයා නියෝජිත පිරිස හමුවේ පවසා සිටියේය.

රට තුළ සංහිදියාව ඇති කිරීම සදහා රජය ගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද ජනපතිවරයා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබද අධීක්ෂණ සභාපති Bob Goodlatteමහතා ඇතුළු පිරිස දැනුවත් කළ අතර රටේ සියලු ජනතාවගේ ජන ජීවිත නගා සිටුවීම සිය අපේක්ෂාව බවද ජනපතිවරා එහිදී සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව සුවිශාල විදේශ ගිවිසුම් ඇති කර ගැනීමේදී ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබදවද අවධානයෙන් කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා මෙරට හමුදා නිළධාරීන්ට ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුව යළි ලබා දෙන ලෙසද ඉල්ලීමක් කිරීමටද අමතක කළේ නැත.

නීතිඥ සංගමයේ නිලවරණය මාර්තු 15 දිනට නියම වෙයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරය සඳහා වන  නිලවරණයමාර්තු 15 වන දින  පැවැත්වීමට දින නියම කර ඇති බව එම සංගමයේ ලේකම් නීතිඥ අමල් රන්දෙණිය මහතා පවසයි.

නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා (25) දා පෙරවරුවේ විධායක සභාව රැස්වීමට සංගමය විසින් පියවර ගන්නා ලදී.

සභාපති ධූරය සදහා වන නිලවරණය ඉකුත් 21 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද විනිසුරුවරුන්ගේ සංගමය තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීම හේතුවෙන් නිලවරණය දින නියමක් නොමැතිව කල්දැමීමට තීරණය විය.

ඒ අනුව විනිසුරුවරුන්ගේ සංගමය නොමැතිව එම කටයුතු පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අද (25) දිනයේදී විධායක සභාව රැස්වී සාකච්ඡා කළ බව වාර්තා වෙයි.

මේ අතර සභාපති ධූරය සඳහා යූ.ආර්. ද  සිල්වා , අනුර මැද්දේගොඩ, ආර්.සංඝරාජා යන නීතීඥවරු තරග වදින බවනීතීඥ සංගමයේ වත්මන් සභාපති ජෙෆ්රි අලගරත්නම් මහතා ප්‍රකාශ කර සිටියේය.

මෙම නිලවරණයේ තේරීම්භාර නිලධාරීවරුන් ලෙස කටයුතු කරනු ලබන්නේ  දිසා විනිසුරුවරුන්ය.

කෙසේවෙතත්  පසුගියදා මඩකළපුව දිස්ත්‍රික්කයේ නීතීඥවරයෙකු මහාධිකණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය මැදිහත් වු බවට චෝදනා කරමින් විනිසුරුවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා

සාකච්ඡා කළේ නිරාශා පියවදනි

උදය රොහාන් ඩී සිල්වා නාමය ඔබට තරමක් නුහුරු නුපුරුදු වුණත් යූ. ආර්.ඩී සිල්වා නාමයනම් අපේ නීතිඥ ප්‍රජාවට කොහෙත්ම නුහුරු නැහැ. මෙරට ආන්දෝලනාත්මක නඩු රැසකට සම්බන්ධව කටයුතු කළ ඔහු මේවන විට නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස ද කටයුතු කරන කීර්තිමත් නීතිඥවරයෙක්.  වෘත්තිය ජීවිතේ සුවිශේෂි කඩඉමකට සූදානම් වෙන මේ මොහොත් බොස්ටන් ලංකා සමග සම්බන්ධ වෙමින් ඔහු සිය අදහස් පළ කර සිටියේ මෙලෙසින්.

මොකක්ද මේ පනින්න හදන පිම්ම?

2017 ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෙවත් Bar Association හි වාර්ෂික නිලවරණය පෙබරවාරි 21 වනදා පැවැත්වෙනවා. මමත් එහි සභාපති ධූරය සදහා අපේක්ෂකයෙකු ලෙස තරග වදිනවා.

ඇත්තටම මොකක්ද මේ නීතිඥ සංගමය කියන්නෙ?

සාමාන්‍යෙයන්  නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දෙන ඕනෑම අයෙකුට මෙම සංගමයට සම්බන්ධ විය හැකියි. නමුත් නිලවරණයකදී වාර්ෂිකව තම සාමාජිකත්වය යාවත්කාලීන කළ අයට පමණයි තම ඡන්දය ලබා දිය හැක්කේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වය වාර්ෂිකව යාවත්කාලීන කළ යුතුයි. බොහෝ පිරිස් මුල් කාලයේදීම මේ සංගමයට සම්බන්ධ වුණාට පසුව එය අලුත් නොකරන නිසා එය නාමික සාමාජිකත්වයක් පමණක් බවට පත්වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට වළංගු ඡන්ද සංඛ්‍යාව 13000 ක් වන අතර ඒ අතරින් 8000ක් කොළඹ දිස්ත්‍රික්කයට අයත්. ඉතිරි 5000 පිරිස නියෝජනය කරන්නේ ලංකාවෙ වෙනත් දිස්ත්‍රික්ක වලින්.

සාමාන්‍ය ජනතාවත් එක්ක නීතිඥ සංමය සතු සබදතාව මොන වගේද?

ඇත්තටම නීතිඥ සංගමය හුදු වෘත්තීය සංගමයක් නෙවෙයි.ඊට වඩා පුළුල් දෘෂ්ටි කෝණයකින් ක්‍රියාත්මක වන්නක්. මේ වන විට මහජනයා  වෙනුවෙන් ක්‍රියාත්මක වීම මන්දගාමී වී තිබුණත් යම් යම් පොදු කාරණා සම්බන්ධයෙන් මහජනයාගේ සුභ සිද්ධිය උදෙසා ක්‍රියාත්මක වීමට නීතිඥ සංගමය කටයුතු කරනවා.

මෑතකදී අපේ පාසල් ශිෂ්‍යාවක් මහපාරෙ වැහි වතුරෙන් පිරී ඉතිරී ගොස් තිබූ කාණු වලකට වැටිලා බෝක්කුව දිගේ ගහගෙන ගියා. අැගේ ජීවිතහානි සිදු වූ අවස්ථාවේ එම නගර සභාවට එරෙහිව කටයුතු කරමින් ඇගේ පවුලේ අයට යම් සාධාරණත්වයක් ඉටු කිරීමට අපි පියවර ගත්තා.

ජනතාව පීඩා විදින එවැනි පොදු ප්‍රශ්නවලදි මීට වඩා සක්‍රීයව දායක වෙන්න ඉදිරියේදි කටයුතු කරනවා.

ඒ වගේම මම ලේකම් ධූරයේ කටයුතු කරන කාලයේ මහජනයා වෙනුවෙන් නීති ආධාර කමිටුවක් පිහිටෙව්වා. පසු කාලීනව එහි ක්‍රියාකාරී බව අඩු වී ගියා.

නමුත්දැන් නිතිඥ ප්‍රජාවට පහසුවෙන් එය කළ හැකි අවස්ථාවක් තමයි නීති ආධාර කොමිෂන් සභාව.එය ඉතාමත් ප්‍රබල ලෙස ක්‍රියාකාරී ආයතනයක්. දිවයිනේ පිහිටි සෑම අධිකරණයකම එහි ශාඛා තිබෙනවා. ඔනෑම කෙනෙකුට එම ශාඛා හරහා සේවය ලබා ගන්න පුළුවන්.

ඔබ මුලින්ම නීතිඥ සංගමයට සම්බන්ධ වූ යටගියාව සිහිපත් කලොත්?

මම මුලින්ම නීතීඥ සංගමයට සම්බන්ධ වුණේ 2000 වසරෙදි.  එවකට සභාපති ජනාධිපති නීතිඥ උපාලි ගුණරත්න මහතා මට සමාජ සහ සුභසාධක කමිටුවේ සභාපති ධූරය මට බාර දුන්නා. ඒ තුළින් මට යම් යම්  යහපත් වෙනස්කම් කිහිපයක් කරන්න හැකි වුණා.

මගේ සංකල්පයකට අනුව අපි කණිෂ්ට නීතිඥවරුන්ගේ සේවා ස්ථානවලටම ගිහින් නීතිඥ සංගමේ වැඩ භාර දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළා. ඒ අනුව ඔවුන් වියදම් දරාගෙන කොළඹ එන්න ඕන නෑ. Members Welfare Society  නමින් හැදින් වූ එම අංශය මගින් මා හැකිතාක් මගේ සේවය ලබා දුන්නා.

ගමන එතනින් නැවතුණේ නැහැ?

2002 වසරෙදි නීතිඥ සංගමේ භණ්ඩාගාරික ලෙස තේරී පත් වීමට මට හැකිවුනා. එලෙස ලැබූ පන්නරය සමගින් ඡන්ද වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින්2008 වසරේදි නීතිඥ සංගමයේ ලේකම් ධූරයට තේරී පත් විමේ භාග්‍ය ලැබුණා. එවක සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළේ ජනාධිපති නීතිඥ ඩබ්.දයාරත්න මහත්මා. එතුමාගේද සහය සමගින් 2008 වසරෙ සිට 2010 දක්වා විශාල වැඩ කොටසක් කිරීමට මට හැකි වුණා.

2008 -2010 කාල පරාසය සංගමයේ පරිවර්තන යුගයක් ලෙස දුන්වන්න පුළුවන්. කණිෂ්ට නීතිඥවරුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව සොයගෙන ගොස් ඔවුන්ගේ දුක් ගැනවිලි වලට සවන් දී ඔවුන්ට නොමිලේ නීති ආධාර ලබා දීමේ හැකියාව ලැබුණා.පසුව අපේ නීති ප්‍රජාව බොහොමයක් පිරිස් 2010 වසරේදි මගෙන් ඉල්ලුවා සභාපති ධූරය වෙනුවෙන් තරග කළ යුතුයි කියා. නමුත් මා එකල තරග වැදුණෙ නැහැ.

ඒ ඇයි?

මා සිතුවා මා ඉක්මන් විය යුතු නැහැ කියා. සභාපතිධූරයට හිමිකම් කීමට නම් යම් පරිණතභාවයක් අවශ්‍යයි. සමාජයේ විවිධ ආයතන සමග සන්නිවේදන සම්බන්ධතා තිබිය යුතුයි.මෙය දේශපාලනයෙන් තොර වු අංශයක් වුවත් අපි ඒ ඒ වකවානු තුළ ක්ෂේත්‍රෙය් සිටින දේශලාලනඥයන් කව්ද ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද කියා මනා අවබෝධයකින් සිටිය යුතුයි. මා සිතුවා මම ඒ පරිණතභාවය ලබා ගැනීමට තව කල් ගත යුතුයි කියා.

1983 වසරෙන් ඇරඹි වෘත්තීය ගමන් මග තුළ පසු කළ සුවිශේෂ කඩඉම් සදහන් කළොත්?

මා කණිෂ්ඨ නීතිඥවරයෙකු ලෙස සේවය කරන කාලෙ මුදල් ගෙවීමට නොහැකි අය වෙනුවෙන්  රජයෙන් පත් කරන  නීතිඥවරයෙකු ලෙස මහාධිකරණයේ කටයුතු කිරීමේ අවස්ථාව උදා වුණා. එහිදී මම ප්‍රථමයෙන් මිනිමැරුම් නඩුවක් වන සිංහාරමුල්ලේ නඩුවට පෙනී සිටියා.

එහි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර ගැනීමට හැකි වීමත් සමග එය මගේ වෘත්තීය ජීවිතේ පරිවර්තනයක් ඇති කළා.මේ වන විට මම ත්‍රිපුද්ගල විනිශිචය සභා නඩුවල වැඩිම වාර ගණනක් පෙනී සිටි නීතිඥවරයා ලෙස නමක් දැනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

හර්ෂ අබේවර්ධන ඝාතන නඩුව, තෝමස් කුක් මංකොල්ලකෑම් නඩුව, ත්‍රීමා විතාන ඝාතන නඩුව වැනි රටේ ආන්දෝලනාත්මක  නඩුකර වලට පෙනී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ වගේම මෑත කාලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ කහවත්තේ ඝාතන නඩු ජාලයේ එක් නඩුවක් සදහා පෙනී සිටි අවස්ථාවත් සුවිශේෂයි.

එහිදී වෙනත් අයෙකු කළ අපරාධ මොවුන් සිදු කළ බවට නීතිපතිතුමා විසින් ඔවුන්ට අධී  චෝදනා පත්‍ර භාර දී එම විත්තිකරුවන්ට අසාධාරණයක් වී තිබුනා. එහිදී ඝාතනය වූ පිරිසගේ රුධිරයේ   වෙනත් අයෙකුට ගැලපෙන ඩීඑන්ඒ සාම්පල තිබුණා.ඒ සම්බන්ධ ඩීඑන්ඒ වාර්තාවක් මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් වී තිබුණත් නීතිපතිතුමාට ඉදිරිපත් වී තිබුණෙ නැහැ. අපිට හැකි වුණා එම ඩීඑන්ඒ වාර්තව සහ වෙනත් සාක්ෂි හරහා මෙම ඝාතනය වෙනත් පුද්ගලයෙකු විසින් කරන ලද්දක් බව සනාථ කර දී නඩුව ජය ගැනීමට.

IMG_3821A

නිලවරණයෙන් ජය ලැබුවොත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අනාගත සැලසුම් මොනවද?

අපේ නීතිඥ ප්‍රජාව ඉල්ලන්නෙ බොහොම සුළු දෙයක්. එදිනෙදා නීති වෘත්තියේ නියෙලෙන්න තිබෙන බාධාවන් ඉවත් කර යහපත් පරිසරයක් ගොඩනගා දීම තමයි ඔවුන්ගේ ඉල්ලා සිටින ප්‍රධානම කාරණය.

යහපත් පරිසරයක් යනුවෙන් අදහස් කරන්නෙ නීතිඥවරයෙකුට වෘත්තියේ නියලෙන කාලසීමාව තුළ රැදී සිටීමට ස්ථානයක් සේවාදායකයන් මුණ ගැසීමට තැනක්  පොලිසියකට ගොස් සේවා දායකයන් වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් වැනි දේ මග හැරී ගොස් තිබෙනවා.

දැනට තිබෙන තත්ත්වය අනුව ගැසට් පත්‍රයක් මගින් පමණයි නීතිඥවරයෙකුට පොලිසියට ගොස් සේවා දායකයින් සදහා පෙනී සිටීමේ අවස්ථාව ලැබෙන්නෙ. දැනට සේවාදායකයෙකුට නීතිඥයෙකු හමුවිය හැක්කේ පොලිසියට සියලු කටඋත්තර ලබා දීමෙන් පසු පමණයි.

නීතිඥවරුන් පොලිසියෙ අය හදුනනවනම් එතනට යන්න බාධාවක් නැහැ. නමුත් එසේ නොවන අවස්ථාවල  ඔවුන් කියන්නෙ නීතිඥවරයෙක් පොලිසියට ඒම සම්බන්ධ නීතියේ ප්‍රතිපාදන නැහැ කියා.

නමුත් මම ඒකට විරුද්ධ මතයක් මම ගොඩනැගුවා. මගේ අදහස වුනේ යම් කෙනෙක් අත්අඩංගුවට ගත් වහාම නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි කියා.

තවත් ප්‍රධානතම කාරණයක් තමයි නඩු ප්‍රමාද වීම. එහිදී මගේ අදහස් වලින් ප්‍රධානම එකක් ලෙස සදහන් කරන්න පුළුවන් Pre trial stage .

දිනපතා නඩු අහලා ඉවර කරන්න කියන සංකල්පය ප්‍රාෙයා්ගික නැහැ. නමුත් එය කිරිමට පෙර මේ නඩුවට සූදානම් වෙලා තිබෙනවද, ඒවට අවශ්‍ය සහකරුවන් ඉන්නවද, භාණ්ඩ තිබෙනවද නැද්ද වැනි කරුණු රැසක් ගැන සොයාබැලීමෙන් අනතුරුව සාකච්ඡා වාරයකින් හෝ කෙටි ක්‍රමයකින් අවසන් වෙන්නෙ නැත්නම් විතරක් දීර්ඝ නඩු විභාගයකට යන්න පුළුවන්.

විශාල වශයෙන් පිරිස නීති වෘත්තියට පිවිසීම අනාගතයේදී සයිටම් ගැටළුවේ දිගුවක් නොවේවිද?

ඉස්සර නීතිඥවරයෙක් බිහි කළේ නීති විද්‍යාලය සහ සරසවි නීති පීඨය පමණයි. එකල මෙය Nobel Profession යනුවෙන් හැදින්වුයෙ එනිසයි. නමුත් මේ වන විට නීති උපාධිය ලබා දෙන පුද්ගලික ආයතන රැසක් බිහි වෙලා තිබෙනවා.

ඇත්ත වශයෙන්ම  එය ගැටළුවක්. මෑතකදී 800ක් පමණ නීතිඥ සංගමයට බැදුණා.තවත් 1000ක් එන්න ඉන්නවා. මේ වගේ තත්ත්වයකදී ඔවුන්ගේ අනාගතය කොයි වගේ වේවිද?ඔවුන් නිරපරාදේ මහේස්ත්‍රාත් අධිකරණයකට හෝ දිසා අදිකරණයකට ගිහින් හිටගෙන සිටීමෙන් ඔවුන්ට සෙතක් වෙයිද වගේ ගැටළු ගැන අපි සාකච්ඡා කරමින් සිටිනවා.

එවැනි ගැටළුවලට පිළියමක් නොලැබුණොත්  ඔවුන් අනිතික ක්‍රියා වලට පෙලඹීම වළක්වන්න බැහැ.