යෝජිත ත්‍රස්ත විරෝධී පනතින් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වනවා – මහානාහිමිවරුන්

maha-na-himi

යෝජිත ත්‍රස්ත විරෝධී පනත මඟින් රට වැසියාට සිදුවන බලපෑම ගැන ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන්, ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බවයි මහානාහිමිවරුන් සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලන ක්‍රමය වෙනුවට අහිතකර වාරණ ක්‍රමවේදයන් මඟින් කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ වගවීම හා විනිවිද භාවය පිළිබඳ මහජනතාව තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන බැවින් සහ එය නව සමාජ අර්බුද ඇතිකිරීමට හේතු විය හැකි බවද මහානාහිමිවරුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් පුළුල් සමාජ සංවාදයක් ඇතිකර විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බවයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.