එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – මලියදේව විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයට ඇදුම් සකස් විය යුතු බවයි.
පාසල් සිසු සිසුවියන් සිය සුදු පැහැති නිල ඇඳුම් කිලිටි නොකර සිටීම සඳහා බොහෝ වෙහෙසක් ගන්නා ආකාරය තමා නිරන්තරයෙන් දැක ඇති බවයි ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ. පාසල් සිසු සිසුවියන් මෙතරම් අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබිය යුතු නැති බව ඔහුගේ අදහසයි.
ඇතැම් ගුරුවරියන් දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී පවා ඉතා අපහසුතාවයෙන් සාරිවලින් සැරසී පාසලට එන බවද පැවසූ අමාත්‍යවරයා ගුරුවරියන්ට විධිමත් සුදුසු ඇඳුමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ද වැඩිදුරටත් පවසා ඇත.