ජනපති හා අගමැති අතර විශේෂ හමුවක්

ranil and maithree

මේ වන විට රජය මුහුණදී ඇති අර්බුද හා ගැටලු සම්බන්ධයෙන් හා රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්  (23දා) පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

ranil and maithree

රජයේ ආර්ථික උපදේශක කමිටුවේ නියමුවන් ලෙස සැලකෙන තිදෙනකු කැබිනට් මණ්ඩලය අභිභවා යමින් රජය නොමඟ යැවීමක් සිදුවෙමින් තිබෙන බව චෝදනා කරමින් යහපාලන ආණ්ඩුව අපකීර්තියට පත්ව ඇතැයි, රජයේ එජාප හා ශ්‍රී ලනිප ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී කරුණු දක්වා තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්ත සංචාරයක යෙදී සිටින අතරතුර ඉකුත්දා (18දා) ජනාධිපතිවරයා හමුවී මේ තත්ත්වය පහදා දී ඇති එකී අමාත්‍යවරු වහාම මෙය නිවැරැදි කිරීමට මූලිකත්වය ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ තත්ත්වය වඩාත් අර්බුදකාරී මට්ටමකට වර්ධනය වී ඇතැයි ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති එම ඇමැතිවරු, රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා ගණනාවකටද රජය අසීරුතාවට පත් කරන හේතු රාශියක් මේ ඇමැතිවරයා විසින් නිර්මාණය කර ඇති බවද මෙහිදී පෙන්වාදී ඇත.

අග්‍රාමාත්‍යවරයා රටේ නොමැති අවස්ථාවක මේ පිළිබඳ තීරණයක් ගත නොහැකි බැවින්ද සම්මුතිවාදී රජයක් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති බැවින්ද මීළඟ කැබිනට් මණ්ඩලයට මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට යොමු කරන ලෙස ජනාධිපතිවරයා එම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බවද දැනගන්නට ඇත.