නියම දක්ෂයින්ට තැනක් හැදූ බොස්ටන් ඩ්‍රීම් වොයිස්හි ජයග්‍රාහකයාගේ කතාව

Tharindu 3
තරිඳු කරුණාරත්න නව යොවුන් තරුණයෙක්. අද දවසේදී සුපිරි තරුවක්. ඒ බොස්ටන් ලංකා සංවිධානය කළ ඩ්‍රීම් වොයිස් එහෙමත් නැත්නම් සිහිනයකය ස්වරය රියලිටි තරඟය ඔස්සේ ජයග්‍රාහී කිරුළට හිමිකම් කියමින්. ඔහුගේ මව මිනින්දොරුවරියක්. පියා විශ්‍රාමික ධීවර පරීක්ෂකයක්. පවුලේ එකම දරුවා වූ තරිඳු මේ වන විට වාසය කරන්නේ අමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ. බෙහෙවින්ම කාර්ය බහුලව සිටින විටක අපි මෙලෙස ඔහුව සම්බන්ද කර ගත්තා.
තරිඳු කොහොමද සුභ පතනවා ඔබ ලැබූ ජයග්‍රහණයට..
බොහොම ස්තුතියි ..
අපේ කථාව ඇරඹුණේ එහෙම. ඔහුගේ ස්වර ඔහු ලද ජයග්‍රහණයේ ප්‍රීතිය නොඅඩුව අපට දැනවූවා…. ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් සිප්සතර හදාරා රසායන විද්‍යා අංශයෙන් උපාධි ගෙන ආචාර්ය උපාධියට ලද ශිෂත්වයෙන් ඔහු මෙලෙස අමරිකාව බලා පියාසර කර තිබුණා.” මෙහේ ජීවිතය හොදයි. සියළු වැඩ කටයුතු තනියම කර ගන්න අවශ්‍ය නිසා කාර්ය බහුලයි.” ලංකාවේ ගෙවුණු ජීවිතයත් වත්මනේ ඔහු ලබන ජීවිතයත් කිසියම් දුරකට අභියෝගයකට ලක් කර තිබෙන බව එකී කතාවෙන් පසක් වෙනවා. කෙසේ වෙතත් මේ සුහද කතාවත් සමග අපි අවතීර්ණ වුණේ ඩ්‍රීම් වොයිස් රියලිටිය වෙතට..
“කමියුනිටි එකේ ප්‍රභාත් අයියගෙන් තමයි මම මේ තරඟය දැන ගත්තේ. පුංචි කාලේ ඉදල සංගීතයට බෙහෙවින්ම ප්‍රිය කළා. උසස් පෙළ වෙනකල්ම සංගීතය හැදෑරුවා ඒ කාලයේදී සංගීත විභාගයේ ප්‍රාරම්භ විභාගය කරන්නත් හැකි වුණා. නමුත් උසස් අධ්‍යාපනයත් එක්ක සංගීතය විෂයක් ලෙස දිගටම ගෙනියන්න බැරි වුණා. ඩ්‍රීම් වොයිස් පළමු වටයේ 80 ක් පමණ හිටියා. පසුව 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් 25 ක් තේරුවා. අවසන් තරඟයේ දී එක් තරඟ කරුවෙකුගේ නොපැමිණීම නිසා තරඟ කරුවන් හිටියේ 24යි.එතැනින් 5ක් තේරුවා…
Tharindu 1 Tharindu 2
ඔතනින්… ඔහුගේ ස්වරයත් මදක් අඩු වෙනවා. ඒ එදා හදවතට දැනුණු නොසංසුන් බව මේ කතාවත් සමග නැවත ආවර්ජනය වීම නිසා විය යුතුය..
ඉතිං කොහොමද ඩ්‍රීම් වොයිස් අත්දැකීම ඔබට දැනෙන්නේ ?
මට කියා ගන්න බැරි නිහතමානී සතුටක් අද තියෙන්නේ. මුල සිටම තරඟය  පුරාවටම සිටි තරඟ කරුවන් සියළුම දෙනා එක වගේ දක්ෂයින්. එවන් දක්‍ෂයින් අතරින් පළමු තැන ලැබීමේ ජයග්‍රහණයේ සතුට ගැන මට කියන්න වචන නැහැ.
කොහොමද පුහුණුවීම් කළේ ?
මෙහෙ ඉතිං ඉන්නේ තනියම නිසා පුහුණුවීම් තනියම කර ගත්තා.
ලංකාවේ බොහොමයක් රියලිටි ෂෝ තියෙනවා. ඒවා එක්ක බොස්ටන් ඩ්‍රීම් වොයිස් රියලිටි ෂෝ එක වෙනස් වෙන්නේ කොහොමද ?
ඔව් මම දකින්නේ මෙහෙම, ලංකාවේ බහුතර රියලිටි වැඩසටහන් වට කිහිපයක් යනකොට තරඟ කරුවන් භාර දෙනවා ජනතාවට.එතකොට දක්ෂයින් හැලෙන්න පුළුවන්.  ඩ්‍රීම් වොයිස් මුල ඉදලා අවසානය වෙනකල්ම විනිශ්චය කළේ ප්‍රවීණ විනිශ්ච මණ්ඩලයකින්. ඒ නිසා මම හිතනවා ඩ්‍රීම් වොයිස් නියම දක්ෂයින්ට නිසි තැනක් ලබා දුන්නා කියලා.
ඩ්‍රීම් වොයිස් තරුවේ කිරුළ පැලදීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
ෆේස්බුක් හරහා සජීවීව ප්‍රචාරය වීමත් එක්ක මගේ දෙමව්පියන්ට ලංකාවේ ඉදං නැරඹීමේ හැකියාව ලැබුණා. ඒ වගේම යාළුවන් ගොඩක් නරඹලා තිබුණා. දිනලා එනකොට එයාර් පොර්ට් එකේදී ඔවුන් විසින් මට විශේෂ පිළිගැනීමක් සුදානම් කරලත් තිබුණා. මේ ආදරේට මම ආදරෙයි.
බොස්ටන් ලංකා මේ ලබා දුන් අවස්ථාව ගැන මොකද හිතෙන්නේ ?
මෙහෙ තනිවෙලා ගෙවන කාර්ය බහුල ජිවිතයට මේ අත්දැකීම එක්ක ලද අවස්ථාව හරිම වෙනසක් වින්දනීය මගකට ඉඩක් ලබා දුන්නා. ඒ වගේම මගේ ජිවිතයට මේ හරහා තවත් වටිනාකමක් එකතු වුණා. මේ අවස්ථාව ලබා දුන් සියළු දෙනාට, බොස්ටන් ලංකාහි වගේම විනිශ්ච මණ්ඩලයට ස්තුතියත් ජයග්‍රහණය කළ සෙසු තරඟ කරුවන්ටත් මම සුභ පතනවා.
13
ඉදිරි බලාපොරොත්තු මොනවද ?
බොස්ටන් හරහා මගේ නිර්මාණයක් කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අනුව නව වසරේදී මගේම නිර්මාණයක් එළි දැක්වීමත්  එක්ක අධ්‍යාපන කටයුතු අවසන් කරලා මගේ රටට සේවයක් කරන්න යන්න හිතාගෙන ඉන්නේ
තව බොහෝ දේ කතා කරන්න ඉඩක් තිබ්බත් මේ වන විට මේ සටහන නිමා කළ යුතුව තිබූ නිසා අපේ සංවාදය එතැනින් නිමා වුණා. තරිඳු නිමන්තක කරුණාරත්න නමින් ඔහු ෆේස්බුක් පරිශීලනය කරන්නෙක්. ඔබට ඒ හරහා ඔහුව සම්බන්ද කර ගන්න පුළුවන්. බොස්ටන් සුවහසක් විදේශීය ශ්‍රී ලංකික ප්‍රජාවට ලබා දුන් නවමු වින්දනීය සජීවී සප්තප් ස්වර වැයුම එලෙස අවසන් වුවත් තවත් මෙවන් දක්ෂයින් බිහි කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත්  ඒ ගැන ඔබට මෙලෙස කියන්න අපි බලාපොරොත්තු වෙනවා

By AW

25
Tharindu 3 winner