දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල නාමයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් බදු ගෙවන්නන් මුලා කර මුදල් ලබාගත් සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙකු විසින් ජුනි 05 වනදා කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව කොම්පඤ්ඤවීදිය පොලීසිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසු මෙම සැකකරු කොටුකර ගැනීමට හැකි වී ඇත.
මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු ව්‍යාජ නාමයක් භාවිත කරමින්, තමන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරන බව පවසමින් මූල්‍ය වංචාවන් සිදුකර ඇති බවය.
පසුගිය ජුනි 27 වනදා ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීම මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ජුනි 29 වනදා අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම පුද්ගලයාගෙන් දුරකථන ඇමතුම් ලැබුණු හෝ ඔහු වෙනුවෙන් මුදල් බැර කරන ලද යම් පුද්ගලයෙකු වේ නම්, ඒ පිළිබඳ තොරතුරු වහාම කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 0112135000 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

