ජාතික රෝහලේ අලුතින් පිහිටුවන ලද හෘද කැතිටර්කරණ රසායනාගාර ද්විත්වය සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය අද (02) පස්වරුවේ නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කරනු ලැබීය.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂමව, විධිමත්ව කිරීමේ නව වැඩපිළිවෙළක් ලෙස රුපියල් මිලියන 600කට අධික ආයෝජනයක් යටතේ මෙම නව ඒකකයන් ස්ථාපිත කර ඇත.
කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණයෙන් යුත් මෙම නවීන පද්ධති මඟින්, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේදී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් රූප ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද සඳහන්.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ මෙම සතිය තුළ පමණක් රුපියල් මිලියන 1200ක වියදමින් රජයේ රෝහල් පද්ධතියට නවීනතම තාක්ෂණයෙන් යුත් නව කැත් රසායනාගාර 4ක් එක් කර තිබේ.
ඒ අනුව, පසුගිය ජුනි 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේ ද, ජුනි 30 වන දින කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද නව කැත් රසායනාගාර ඒකක රෝගී ප්‍රතිකාර සේවා සඳහා විවෘත කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ 2029 සැප්තැම්බර් මස වන විට ශ්‍රී ලංකා ජාතික රෝහල තුළ මහල් 16 කින් යුත් ‘ජාතික හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය’ විවෘත කිරීමට බලාපොරොත්තු වන බවය.
ඒ සඳහා රුපියල් බිලියන 12ක මුදලක් දැනටමත් වෙන් කර ඇති අතර, මේ වසරේම එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාතික රෝහලේ දැනට භාවිතා කරන කැත් රසායනාගාරය වසර 10ක් පමණ පැරණි වන අතර මෙම නව ඒකක සමඟ රෝහලේ සමස්ත කැත් රසායනාගාර සංඛ්‍යාව 3 දක්වා ඉහළ යන බැවින් දිනකට රෝගීන් 45 දෙනෙකුට පමණ ප්‍රතිකාර ලබා දීමට අවස්ථාව සැලසෙන බවය.
දැනට දිවයින පුරා ක්‍රියාකාරී මට්ටමේ පවතින කැත් රසායනාගාර සංඛ්‍යාව 10ක් වන අතර ඉදිරියේදී එම සංඛ්‍යාව 26 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත්, එමඟින් දැනට පවතින වසරක පමණ හෘද රෝග පොරොත්තු ලේඛන මාසයක් දක්වා අවම කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

