ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි මස 16 වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
එම සංචාරය අතරතුරදී, ලෝකයේ ප්රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන CMA CGM ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ මහතා සමඟ ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේය.
ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් පවතින බවද තානාපතිවරයා සඳහන් කළේය.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ප්‍රංශ තානාපතිවරයා ප්රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
ආයෝජක කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ CMA CGM ආයතනයේ ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය සඳහන් කළේ, තම සමාගම ලෝකයේ ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්රමුඛ පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් බවයි.
කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පුළුල් කිරීමට විශාල හැකියාවක් පවතින බවත්, හවුල් ව්‍යාපාර ආයෝජන හරහා බහාලුම් ප්‍රවාහන පරිමාව වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් ඇය පැවසුවාය.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවන අදියර ව්‍යාපෘතිය පිළිබඳවද තම සමාගම අධ්‍යයනය කරමින් සිටින බව ඇය සඳහන් කළාය.
මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙන බහාලුම්වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් CMA CGM සමාගම සතු වන අතර, එම ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව පවතින බවද ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය ප්‍රකාශ කළාය.
එමෙන්ම තම සමාගම සතු ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ හැකියාවන් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රය සංවර්ධනය කිරීමට සහාය ලබාදීමට සූදානම් බවද ඇය සඳහන් කළාය.
කොළඹ වරායේ උපාය මාර්ගික වැදගත්කම හඳුනාගෙන ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ආයෝජක කණ්ඩායමට සිය ස්තූතිය පළ කළේය.
කොළඹ වරාය ඉන්දියානු සාගර කලාපයේ ලෝක මට්ටමේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
අදාළ සාකච්ඡාව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

