පාර්ලිමේන්තු පොදු මුදල් කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, එකතු කළ අගය මත බද්ද (VAT) සඳහා ලියාපදිංචි වීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට අඩු කිරීමට ඉදිරිපත් කළ යෝජනාව රජය විසින් ක්‍රියාත්මක නොකිරීමට ගත් තීරණය පිළිබඳ ප්‍රසාදය පළ කර තිබේ.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒ බව සඳහන් කළේය.
ව්‍යාපාරික සංවිධාන, බදු විශේෂඥයින් සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධතා මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවත්, එම යෝජනාව ක්‍රියාත්මක වූයේ නම් මෑත ආර්ථික අභියෝගවලින් තවමත් ගොඩ එමින් සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අමතර බරක් එල්ල විය හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
බදු පදනම පුළුල් කිරීම අවශ්‍ය වුවද එය සාධාරණ හා සමාන ආකාරයකින් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.
කුඩා ව්‍යාපාරිකයින් මත පමණක් වැඩි බදු බරක් පැටවීම වෙනුවට බදු කාන්දුවීම් සහ අයකර ගැනීමේ ගැටලු විසඳිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
යෝජිත සීමාව අඩු කිරීම මඟින් කුඩා වෙළෙඳුන් අනුකූල නොවීමේ දඩ හා නීතිමය අවදානම්වලට මුහුණ දිය හැකි බවත්, ඇතැම් අංශවල වැට් බදු අයකිරීම් සහ ගෙවීම් සම්බන්ධ ගැටලු පවතින බවටත් මන්ත්‍රීවරයා අවධානය යොමු කළේය.
මෙම කරුණ පොදු මුදල් කාරක සභාව තුළ සහ පාර්ලිමේන්තුවේදී කිහිපවරක්ම මතු කළ බවත්, උපදේශන ක්‍රියාවලියේදී ලැබුණු බහුතර මහජන අදහස් යෝජිත සීමා අඩු කිරීමට විරුද්ධ වූ බවත් ඔහු පැවසීය.
රජය පවසා තිබුණේ වැට් සීමාව අඩු කිරීම මඟින් බදු පදනම පුළුල් කර රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම අරමුණ වූ බවයි.
කෙසේ වෙතත් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ එම පියවර කුඩා ව්‍යාපාරවල වියදම් වැඩි කරනු ඇති බවය.

