තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ විසින් මෙරට විවිධ ප්‍රදේශවල සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවන් සහ අපරාධ රැසක තොරතුරු නුවරඑළිය මූලස්ථාන පොලීසිය මගින් අනාවරණය කරගෙන තිබේ.
නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මාධ්‍ය ප්‍රකාශකවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
පසුගිය ජූනි 17 වන දින වාර්තා වූ මෙම මනුෂ්‍ය ඝාතන සිද්ධියෙන් පසු සිදුකළ පුළුල් විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වී තිබේ.
මෙම අපරාධවල ප්‍රධාන සැකකරු ලෙස කොස්ගොල්ල, හොරොම්බාව ලිපිනයේ පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර නැමැත්තා හඳුනාගෙන ඇති අතර, ඔහුගේ බිරිඳ වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක නැමැත්තිය ද මෙම වංචාවන්ට සෘජුවම සම්බන්ධ වී ඇති බව පොලීසිය පවසයි.
පොලිස් වාර්තාවලට අනුව ප්‍රධාන සැකකරු විසින් විවාහ වන බව පවසා කාන්තාවන් රැවටීම, විදේශ වාහන සහ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා මත දිවයිනේ අධිකරණ රැසක නඩු පවතී.
ඒ අනුව,
ගම්පහ මහාධිකරණය (නඩු අංක බී 1893/19) – විවාහ වන බව පවසා රුපියල් 11,873,000/-ක මුදලක් වංචා කිරීම සහ WP CBG 8532 දරණ කාර් රථය නීති විරෝධී ලෙස භාවිතා කර වංචා කිරීම.
අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 98858/05/2018) – විවාහ වන බව පවසා රුපියල් 1,721,000/-ක මුදලක් වංචා කිරීම.
අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 15191/05/2019) – විවාහ වන බව පවසා රුපියල් 1,376,000/-ක මුදලක් වංචා කිරීම.
තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය (නඩු අංක බී 33176, 33174) – විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 2,200,000/- ක මුදලක් වංචා කිරීම.
අලුත්කඩේ උසාවිය (නඩු අංක බී 7002/23) – විදේශගත කරන බව පවසා රුපියල් 4,200,000ක මුදලක් වංචා කිරීම.
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහුට එරෙහිව අලුත්කඩේ (බී 88175/18, බී 2 1763), හොරණ (බී 35175/18) සහ කඩුවෙල (බී 12025/18) යන අධිකරණවල ද නඩු පවත්වාගෙන යනු ලබයි.
සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය (198333704184) ඔස්සේ VPN හරහා AMIS දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ වංචා විමර්ශන අංශය මගින් 2023.11.13 වන දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුකර ඇති බවත් අනාවරණය වේ.
මෙම අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුගේ බිරිඳ වන නෙත්මි අමායා රත්නායක යන අයට එරෙහිව ද ආයතන සහ පොලිස් ස්ථාන රැසක විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව,
විදේශ සේවා නියුක්ති කාර්යාංශය – INV/147/2309/13/09/2023 යටතේ පවතින විමර්ශන.
පෑලියගොඩ (SCIB): ලේඛන අංක 332/143 යටතේ පවතින විමර්ශන.
පෑලියගොඩ පොලිසිය (වැලිසර): බී /4270/23 නඩුව.
ජා-ඇල පොලිසිය: CIB 11 388/75 යටතේ ඇති පැමිණිලි.
විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් 2,500,000/- ක මුදලක් වංචා කිරීම (2023.11.15 දිනැති MOIB -396/48).

