කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක් තුළදී වයස අවුරුදු 23ක තරුණියක් ගෙල වැලලාගෙන මියයෑමේ සිද්ධියට අදාළ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය ඊයේ (21) පස්වරුවේ මහනුවර ජාතික රෝහලේදී පවත්වනු ලැබීය.
එහිදී මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ නොකරමින් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, මරණයට හේතුව විද්‍යාත්මකව තහවුරු කරගැනීම සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මියගිය තරුණියගේ දේහය අවසන් ගෞරවය සඳහා දිගන, අළුත්වත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක තැන්පත් කර ඇත.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඥාතියෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස් පරීක්ෂණවල ස්වභාවය පිළිබඳව දැඩි බලපෑමක් ඇති බවයි.
“මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන පරීක්ෂණ කටයුතු ඉතාමත් ඒකපාර්ශ්විකයි. මේ සිදුවීමෙන් මියගිය අපේ දරුවාට බලවත් අසාධාරණයක් සිදුවීමට ලොකු ඉඩකඩක් තිබෙනවා කියලා අපට සැකයක් මතු වෙනවා”
කෙසේ වෙතත්, මෙම තරුණියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) පස්වරුවේ කුණ්ඩසාලේ, බලගොල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

