සලේගේ සෞඛ්‍ය ගැන කඩිනම් අවධානය යොමුකරන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් ජනපතිට ලිපියක්…..

News Iamges.00_00_00_00.Still2883

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කඩිනම් සහ හදිසි අවධානය යොමුකර මානුෂීය හේතූන් මත මැදිහත්වන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ලිපියක් යොමුකරමින් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, දීර්ඝකාලීන පරිපාලනමය රැඳවුම්භාරයක තබාගැනීම වෙනුවට සුරේෂ් සලේ මහතා සම්බන්ධ විමර්ශනය, විනිවිදභාවයෙන් යුත් අධිකරණ කටයුතු ඔස්සේ කඩිනම් කරන ලෙසය.

සුරේෂ් සලේ මහතා රඳවා තබාගැනීම සහ ඔහුගේ පිරිහෙන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කඩිනම් සහ හදිසි අවධානය යොමුකර මානුෂීය හේතූන් මත මැදිහත් වන්නැයි ද එමඟින් ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් උසස් හමුදා නිලධාරියෙකු ලෙස සුරේෂ් සලේ සිය ජීවිතයෙන් දශක ගණනාවක් කැපකර ඇතැයි පෙන්වාදෙන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, කිසිඳු පුද්ගලයෙකු විධිමත් අධිචෝදනා පත්‍රයකින් තොරව දීර්ඝකාලීන රැඳවුම් භාරයේ තබාගැනීමෙන් වැළකී සිටිය යුතු බව පවසයි.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සලේ මහතාට යම් අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුවහොත්, එවැනි ප්‍රතිඵලයක වගකීම නොවැළැක්විය හැකි ලෙස නියෝගය නිකුත් කළ අධිකාරිය වන ඔබගේ කාර්යාලය වෙත පැවරෙන බව එහි දක්වා තිබේ.

එබැවින් සුරේෂ් සලේ මහතාට ඉහළම වෛද්‍ය ප්‍රතිකාර සඳහා බාධාවකින් තොරව ප්‍රවේශය ලැබෙන බව සහතික කරන ලෙසත්, ඔහුගේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කරන ලෙසත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපතිට යොමුකළ ලිපියෙන් ඉල්ලා සිටී.