මාස 7කට පසුව නානුඔයෙන් බදුලු ගිය ‘පොඩි මැණිකේ’

News Iamges.00_00_00_00.Still2865

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ, නානුඔය සිට බදුල්ල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාව අද (20) සිට යළි ආරම්භ කර තිබේ.

අඹේවෙල සහ නානුඔය අතර පිහිටි පැරකුම්පුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය නායයෑමකට ලක්ව තිබීම හේතුවෙන් මෙතෙක් දුම්රිය ධාවනය වූයේ අඹේවෙල සහ බදුල්ල දක්වා පමණි.

දුම්රිය ඉංජිනේරුවන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික ආයතනයක් එක්ව එම නායගිය ස්ථානය සම්පූර්ණයෙන්ම පිළිසකර කිරීමෙන් පසුව මෙලෙස අද සිට දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අද උදෑසන 9:00ට නානුඔය දුම්රිය ස්ථානයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව “පොඩි මැණිකේ” දුම්රිය නානුඔය සිට බදුල්ල බලා ගමන් ආරම්භ කළේය.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා සහ ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර සිටියේ මෙම වසර අවසන් වීමට පෙර උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට බදුල්ල දක්වාම සිදු කිරීමට අපේක්ෂා කරන බවය.