ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර හමුවක් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්යසාධනය ඇගයීම වෙනුවෙන් කාර්යසාධන ගිවිසුම් අත්සන් තැබීමද සිදු වූ අතර, වසරකට දෙවතාවක් අදාළ කාර්යසාධනයන් ඇගයීමටද මෙහිදී තීරණය කෙරිණි.
එක් එක් අමාත්‍යාංශ සඳහා ප්‍රාග්ධන අයවැය යටතේ ප්‍රතිපාදන යෙදවූ ආකාරය, ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම මෙම වසර තුළ අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ආයෝජනවලදී, විදෙස් ආයෝජකයන් මුහුණදී සිටින ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, මෙරට සිදු කිරීමට නියමිත ව්‍යාපෘති ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසාදීම පිළිබඳව ද සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු වූ බව වැඩිදුරටත් සඳහන්ය.

