මහපරිමාණ ඩොලර් ජාවාරම්කරුවෙක් කොටු වෙයි……

Doller

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවාරමක නිරත වූ ප්‍රධාන පුද්ගලයාව මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු නීතිවිරෝධී අයුරින් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළදී රුපියල් කෝටි විසි එක්දහසකට අධික මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 700කට වැඩි මුදලක් විදෙස් රටවලට යවා ඇති බවයි විමර්ශනවලදී අනාවරණවී ඇත.

රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳව ඉකුත් දා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

ඒ පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, 2023 වසරේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇති බවය.

එමෙන්ම කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන A.Y ඉන්වෙස්ට්මන්ට් නම් ආයතනයක් හරහා මෙම මුදල් ප්‍රේෂණය කර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණවී ඇත්තේ, ජෙෆ්රි මොහොමඩ් නම් පුද්ගලයෙකු අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවය.

ඔහු හරහා කොළඹ ප්‍රධාන පෙලේ භාණ්ඩ ආනයනකරුවන් කූට ලෙස ඩොලර් විදෙස් රටවලට යවා භාණ්ඩ ගෙන්වාගෙන රජයට විශාල වශයෙන් තීරුබදු අහිමිකර ඇති බව ද හෙළි වී ඇත.

අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවය.

ඒ අනුව මෙරට සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද ඔවුන් ජාවාරමෙන් උපයාගන්නා මුදල් මෙම පුද්ගලයා හරහා විදෙස් රටවලට ගෙන්වාගන්නා බවට තොරතුරු අනාවරණ විය.

සැකකරුව ඊයේ (19) මීගමුවේ පිහිටි නිවාස සංකීරණයක නිවසක සැඟවී සිටියදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මෙම ජාවාරම සඳහා සාක්ෂරතාවය අඩු පුද්ගලයන් 36 දෙනෙකු නමින් බැංකු ගිණුම් ආරම්භ කර යොදාගෙන ඇති අතර ඊට ඇතැම් බැංකු නිලධාරීන්ගෙන් ආධාර අනුබල ලැබී ඇති බවට පොලිසිය සැක පළ කරයි.

එක් අමරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් දෙකක කොමිස් මුදලක් තමා ලබාගන්නා බව සැකකරු පවසා ඇත.

ඒ අනුව ඔහුව අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබේ.

එමෙන්ම මෙම ජාවාරමෙන් සැකකරු මිලදීගත් රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත.

මේ අතර මොහු සමග ගනුදෙනු කළ ව්‍යාපාරිකයන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කළේය.