ශ්‍රී ලංකාවට වැඩිම මුදලක් එවන ලාංකිකයන් සිටින රටවල්……

News Iamges.00_00_00_00.Still2846

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට වැඩිම විදේශ විනිමයක් එවනු ලබන්නේ කුවේට් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයන් විසින් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

‘අද දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් එම කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පසුගිය වසර කිහිපයක දත්ත විශ්ලේෂණය කරමින් මේ බව අනාවරණය කළේය.

වසරකට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් රැකියා සඳහා විදෙස්ගත වේ.

එම පිරිසෙන් 30%ක් පමණ, එනම් 80,000කට ආසන්න සංඛ්‍යාවක් තෝරාගන්නේ කුවේට් රාජ්‍යය බව සභාපතිවරයා පැවසීය.

පසුගිය 2025 වසරේදී පමණක් කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 893ක මුදලක් මෙරටට එවා ඇත.

ශ්‍රී ලංකාවට දෙවැනියට වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන්නේ කටාර් රාජ්‍යයෙන් වන අතර, තෙවැනියට වැඩිම මුදල් ප්‍රමාණයක් එවනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසිනි.

මීට අමතරව සෞදි අරාබිය සහ අමෙරිකා එක්සත් ජනපදය ද මෙරටට වැඩිම වශයෙන් මුදල් එවනු ලබන ශ්‍රී ලාංකිකයන් වෙසෙන රටවල් අතර වන බව සභාපතිවරයා පැවසීය.

තවද, ඉතාලිය, බ්‍රිතාන්‍යය, මාලදිවයින, ඔස්ට්‍රේලියාව සහ ඊශ්‍රායලය ද ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලබා දෙන ලාංකිකයන් සිටින සෙසු ප්‍රමුඛ රටවල් වේ.