මාලිමා මන්ත්‍රී පද්මකුමාරට එරෙහි නඩුවේ සැකකරුවන් ඇල්ලීමට මහෙස්ත්‍රාත්ගෙන් නියෝ‍ග…..

News Iamges.00_00_00_00.Still2817

සූරියකන්ද ප්‍රදේශයේ සිදුකළ ගංජා වැටලීමක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමඟ ඇතිවූ ගැටලුවකින් පසු වැඩතහනමට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයාට විරුද්ධව පොලීසිය පැවරූ නඩුව සහ එම කොස්තාපල්වරයා විසින් මන්ත්‍රීවරයාට විරුද්ධව පවරා ඇති නඩුව ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (15) කැඳවනු ලැබීය.

එහිදී කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය ප්‍රධාන මහෙස්ත්‍රාත් ආර්.එම්. මාලන් ඉෂාර ජයසූරිය මහතා නියෝග කළේ, මන්ත්‍රීවරයාට එරෙහි නඩුවට අදාළ සාක්ෂි කඩිනමින් සටහන් කරගෙන, මේ සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් සිටී නම් ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන ඉදිරි නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටය.

මෙම සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ කැබ් රථයට අයුතු අවහිර කිරීම සහ සාපරාධී බියගැන්වීම් සිදුකළ බවට චෝදනා කරමින් පොලිස් කොස්තාපල්වරයාට විරුද්ධව පවරා තිබූ නඩුව මීට පෙර අධිකරණය විසින් සමථ මණ්ඩලයට යොමු කර තිබුණි.

අද (15) දිනට එම සමථ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා තිබූ අතර, එහිදී අනාවරණය වූයේ සමථ මණ්ඩලයට ඉදිරිපත් කළද මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කිසිදු සමථයක් ඇති වී නොමැති බවයි.

නඩුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා මෙසේ පැවසීය:

“ගැටුමට මැදිවී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටවී පැය 6ක් යන්නටත් මත්තෙන් පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළා. ඔහු මීට මාස 6කට පෙර ඇප මත මුදාහැරුණා. නමුත්, මන්ත්‍රීවරයාට විරුද්ධව ඇති නඩුව සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු සැකකරුවෙකුගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නැහැ. කොස්තාපල්වරයාට පහර දී, මත්පැන් පැකට්ටුවකින් මුහුණට ගැසූ බව කියන කිසිවෙකුත් මාස 6ක් ගතවීත් අත්අඩංගුවට ගෙන නැහැ. මෙයින් පැහැදිලිවම පෙනී යන්නේ මාලිමාවට නීතිය ක්‍රියාත්මක නොවන බවයි.”

මෙම තත්ත්වය හමුවේ දැඩි ලෙස කරුණු ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, එළඹෙන ඔක්තෝබර් 26 වනදා වන විට සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර සාක්ෂි සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, හඳුනාගන්නා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලීසියට නියෝග කළේය.

වැඩතහනමට ලක්වූ පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතා විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව, ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස පොලීසියට නියෝග කර තිබුණි. එහෙත් පොලිස් බලධාරීන් මේ දක්වා එම නියෝගය ක්‍රියාත්මක කර නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මානව හිමිකම් සංවිධානයේ සබරගමුව පළාත් අධ්‍යක්ෂ පාලිත ගොඩගේ මහතා කියා සිටියේ, මානව හිමිකම් කොමිසමේ තීරණය පොලීසිය විසින් දිගින් දිගටම පැහැර හරින්නේ නම්, ඊට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් අගතියට පත් පොලිස් නිලධාරියාට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බවය.

අධිකරණ නියෝගය පරිදි මෙම නඩු දෙක ඉදිරි කටයුතු සඳහා නැවත 2026 නොවැම්බර් 02 සහ දෙසැම්බර් 20 යන දිනවලදී කැඳවීමට නියමිතය.