මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සකස් කළ විමර්ශන වාර්තාව, ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතිය අද (09) හිමි විය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තාවක්, මෙලෙස සෘජුවම නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ..
දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුළ 2025 මාර්තු 10 සහ 21 යන දිනවල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කැඳවා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබුණි.
එහිදී අනාවරණය වූ කරුණු ඇතුළත් කර සකස් කරන ලද වාර්තාව, 2025 ජූලි 25 දින ප්‍රකාශන මාලා අංක 243 යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) හි විධිවිධාන ප්‍රකාරව, අදාළ වංචා පිළිබඳ වාර්තාව මුදල් අමාත්‍යවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
ඉන් අනතුරුව එම අමාත්‍යවරුන් ලබා දුන් පිළිතුරු පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු අතර, 2026 මාර්තු 04 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් එම කරුණු යළිත් සලකා බලනු ලැබීය.
එහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇති මූල්‍යමය අක්රමිකතාවල බරපතළකම සැලකිල්ලට ගනිමින්, වංචාකරුවන්ට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කාරක සභාව අවධාරණය කර ඇත.
ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට කෝපා කමිටුව ඒකමතිකව තීරණය කර තිබුණි.
ඒ අනුව, “රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2025 මාර්තු 10 සහ 21 දිනයන්හි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳ සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් කරුණු ඇතුළත්, 2025 ජූලි 25 දින පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ප්‍රකාශන මාලා අංක 243 දරන වාර්තාව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය කටයුතු සඳහා යොමු කළ යුතුය” යන යෝජනාව අද පාර්ලිමේන්තු සභාවේ දී ස්ථිර කරමින් ඊට නිල අනුමැතිය ලබා දෙන ලදී.

