මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවන බාධකය හේතුවෙන් වගා කටයුතු කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි ප්‍රධානය අඛණ්ඩවම සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ මෙම සියලුම ගොවීන් වෙත ඉදිරි දිනවලදී අදාළ වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවය.
මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල්වලා ගඟ ආශ්‍රිතව විශේෂිත ව්‍යාපෘතියක් ලෙස කරදිය බාධකයක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.
එම කරදිය බාධකය හේතුකොට ගෙන 2019 වර්ෂයෙන් පසු සෑම වසරකම ඇතිවූ වර්ෂාව හේතුවෙන් සිදුවූ ජල ගැලීම්වලින් වගාවන් හානියට පත් වීම සිදු විය.
ඒ අනුව, 2019 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අනුක්‍රමික වගා කන්න 07ක් සඳහා වන්දි ගෙවීම් කටයුතු පසුගිය මැයි 27 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ලවන බාධකය හේතුවෙන් අගතියට පත් වූ මුළු ගොවීන් සංඛ්‍යාව 5,000ක් පමණ වන අතර, අක්කර ප්‍රමාණය 12,800කට ආසන්න වේ.
මේ යටතේ 2026 ජූනි මස 09 වන විට අක්කර 2,811 කට අදාල ගොවීන් 1,322 ප්‍රමාණයක් වෙනුවෙන් වන්දි රුපියල් මිලියන 141.37 පමණ ප්‍රමාණයක් චෙක්පත් මගින් ගොවීන් වෙත ප්රදානය කර තිබේ.
එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ සහ ඉතිරි වූ අනෙකුත් සියලුම ගොවීන් වෙත ඉදිරි දිනවලදී අදාළ වන්දි මුදල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

