මැලිසිරිපුර ප්රදේශයේ විශාල කොටසකට විදුලිය සපයනු ලබන ප්රධාන අධිබලැති විදුලි රැහැනක් (High Tension Line) අද (20) පස්වරුවේ කැඩීයාම හේතුවෙන් ප්රදේශ රැසක විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ.
මෙම බිඳවැටීම හේතුවෙන් මැල්සිරිපුර ගොවිපොළ අසල සිට ඕමාරගොල්ල දක්වා, ඕමාරගොල්ල සිට මඩහපොල කන්ද දක්වා හා හෙවනතැන්න සිට කටුවාලන්ද දක්වා යන ප්රදේශවලට විදුලි සැපයුම බිඳවැටී ඇත.
විදුලි රැහැන කැඩී ගොස් ඇත්තේ ඝන කැලෑබද ප්රදේශයක බැවින්, පවතින රාත්රී කාලය තුළ නඩත්තු වාහනවලට එම කැලෑව මැදින් අදාළ ස්ථානය වෙත ළඟාවීම දැඩි අපහසු කටයුත්තක් වී තිබේ.
ඒ අනුව පවතින ප්රවේශ වීමේ අපහසුතා හේතුවෙන් අදාළ නඩත්තු කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා හෙට (21) දහවල් 2:30 පමණ වනු ඇති බව වාර්තා වේ.

