පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා වසර තුනකට පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ සහෝදරයා වන, දැනට එම කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන එස්.එෆ්. රාජුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු අනුවය.
සැකකරු අනාවරණ කර ඇත්තේ කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවූ ඝාතන පිළිබඳ තොරතුරු අදාළ පොලිස් නිලධාරියා සතුවීම හේතුවෙන් ඔහුව ඝාතනය කළ බවය.
වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු ප්‍රහාරයෙන් අනතුරුව කරන්දෙණිය සුද්දා විසින් ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලීසිය පවසයි.
දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ එම සැකකරු ඩුබායිහි මත්ද්‍රව්‍ය සොයාගත නොහැකිව සියදිවි හානි කර ගෙන ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් අනාවරණ කළ බවත් එම තොරතුරු සත්‍යයද යන්න පිළිබඳ සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් පොලීසිය සඳහන් කළේය.
මේ අතර, රාජුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කරන්දෙණිය සුද්දාට අයත් ටී 56 ගිනි අවියක්, මැගසීනයක් සහ උණ්ඩ 15ක් මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය සොයාගෙන තිබුණි.
මෙම ගිනි අවිය සොයාගැනීමත් සමග කරන්දෙණිය සුද්දා සතුවූ බවට පැවසෙන ටී 56 ගිනි අවි 8න් 6ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ මෙහෙයවීමෙන්, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරිවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබයි.

