භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න පැවසීය.
හර්ෂණ සූරියප්පෙරුම මහතා හෙට දිනයේ (30) දිනයේ ‘COPF’ හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වමින් ලිපියක් යොමුකර ඇති බවට එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවීමේ තීරණයක් ගෙන තිබෙන පසුබිමක අදාළ ලිපිය මෙලෙස යොමුකර තිබේ.
කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සමග අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න සඳහන් කළේ, අදාළ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවය.
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සිදුකිරිමට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ‘COPF’ හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
එමනිසා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ‘COPF’ කමිටුව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර නොමැති බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පෙනී සිටින බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

