gota

මෙම වසරේ ජනාධිපතිවරණයක් අවශ්‍යයි, ජනතාව සූදානම් නම් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 12දින ඔහුගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන වියත්මග වාර්ෂික සුහද හමුවේදී සදහන් කර සිටියේය. 

බොහෝ දෙනෙක් අපේ රට මීට වඩා යහපත් මාර්ගයකට යා යුතුයි කියන මතයේ සිටිනවා. බහුතරයේ මතය එයයි. වෘත්තිකයන් හඳුනා ගැනීමේ සංකල්පයක් රජයට නැහැ. ජාතිකත්වය වැරදි ලෙස අර්ථකථනය කරගෙන තිබෙනවා. නමුත් අපේ රට අනිකුත් රටවල් වගේම ඉදිරියට ගෙන යෑමට නම් ශ‍්‍රී ලාංකිකයි කියන ප‍්‍රතිපත්තිය තහවුරු කර ගැනීම අවශ්‍යයි. ආසියාවේ දියුණු සෑම රටකම නායකයන් ජාතිකත්වය ජනතාව අතරට රැගෙන ගිහින් තිබෙනවා. ඒ නිසා එම රටවල් දියුණු වෙලා. පිටරට ජීවත් වන පිරිසට රටේ ජනතාවට වඩා රට ගැන හැඟීමක් තිබෙනවා ඒ වගේම  ජාතිකත්වය කියන ප‍්‍රතිපත්තිය සෑම කෙනෙක් අතරට ගෙන යෑම අත්‍යවශ්‍යයි යනුවෙන් එතුමා වැඩිදුරටත් සදහන් කරන ලදී. එමෙන්ම වත්මන් ආණ්ඩුව ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ  ව්‍යවස්ථාවක් අවශ්‍යද නැද්ද කියන සංකල්පය ජනතාව තුළට රැගෙන යා යුතු බවයි.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි වන්නෙකුට මෙරට මැතිවරණයක් සදහා ඉදිරිපත් වීමට නොහැකිය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා වරක් පවසා සිටියේ  තමන්ට ජනාධිපතිවරණනයට ඉදිරිපත් වීමට ඇති බාධාවන් ඉවත් කරගන්නා බවයි. විකිපීඩියා වෙබ් අඩවිය පෙර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  පුරවැසිභාවය දක්වූයේ ශ‍්‍රී ලාංකික හා ඇමරිකානු පුරවැසියෙකු ලෙසටය. නමුත් එය දැන් ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් යනුවෙන් යාවත්කාලින කර ඇත. ඒ අනුව පෙනී යන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට පවතින ප්‍රබලම බාධාව ඉවත් කරගෙන ඇති බවයි. එමෙන්ම ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යැයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබුණි.

සටහන- පබසරා රාජකරුණා