rup (1)
වර්තමානය වන විට රුපියලේ අගය බාල්දු වී ඇති අතර රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම ඉතිහාසයේ  වැඩි ම අගය වාර්තාකර ඇත. මේ හරහා ශ්‍රී ලංකාවට ආර්ථික, දේශපාලන හා සමාජ ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වී ඇත. ලොව සෙසු රටවල ද ඩොලරයට සාපේක්ෂව ආර්ථිකයේ විශාල වෙනස් කම් සිදුවී ඇත. රටක විනිමය අනුපාත වෙනස්වීම සදහා ප්‍රධන කරුණු 4ක් බලපානු ලබයි. එනම් ඒ රටෙහි ආනයන අපනයන ක්ෂේත්‍රයේ, වෙළෙද ශේෂයේ ඇතිවෙන වෙනස්කම්, ආයෝජන සම්බන්ධයෙන් වන වෙනස්කම්, රාජ්‍ය ප්‍රතිපත්තිය හා එම රට පිළිබදව ආයෝජකයන්ගේ මානසිකත්වය එම කරුණු වේ. ඩොලරයේ හෝ වෙනත් විනිමය අනුපාතිකයන් සම්බන්ධයෙන් ඉල්ලුම සැපයුම තීරණය වන්නේ මේ කරුණු 4 මතයි.
ශ්‍රී ලංකාව සැලකු විට 2015 නව රජය බලයට පත්වන විට ඩොලරයේ අගය රු. 131.45 ක් වශයෙන් පැවතුන අතර අද වන විට එය රු. 181.21කි. යුරෝපයේ හෝ ආසියාවේ කවර රටක් ගත්ත ද ඔවුන්ගේ විනිමය අනුපාත ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පිරිහීමක් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයක් හමුවේ රජය විසින් සිය අනවශ්‍ය වියදම් සිමා කළ යුතුය. එසේ නොවුනහොත් තවදුරටත් ඩොලරයේ මිල ඉහළයාම රජයට විශාල අර්බුදයක් නිර්මාණය කරනු ඇත. ඩොලරයේ මිල ඉහළයාම  ඔස්සේ ආනයන වියදම් ඉහළයාමෙන් අත්‍යවශ්‍ය  භාණ්ඩ හා සේවාවන්ගේ මිල සිඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ජිවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් අවසානයේදී එය දරාගත නොහැකි මට්ටමකට  පත්වනු ඇත. ජනතාවට තවදුරටත් දරා ගත නොහැකි ජිවන වියදම විශාල දේශපාලන අර්බුදයකට රට ගෙන යාමකි. රට හමුවේ පවතින අභියෝග නිවැරදිව හදුනා ගැනීම පාලකයාගේ වගකීමය. පාලකයන් මතුපිටින් පෙනන දේශපාලන ප්‍රශ්න වලට පමණක් පිළිතුරු සෙවීම ප්‍රමාණවත් නොවන අතර පාලකයන් ආර්ථිකය හා දේශපාලනය වෙන්කර හදුනා ගනිමින් නිවැරදිව ආර්ථික කළමනාකරණය සිදු කළ යුතුය.