ශ්‍රී ලංකාවේ සංගණන පැවැත්වීම සඳහා බලපැවැත්වෙන ප්‍රධාන නීතිමය රාමුව 1900 අංක 9 දරන සංගණන ආඥාපනතයි.
1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන රැස් කිරීම, සකස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ බෙදාහැරීම සඳහා පුළුල් ව්‍යවස්ථාපිත රාමුවක් ස්ථාපිත කර තිබේ.
එසේ වුවද, වත්මන් නීතිමය රාමුව, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලුදෙනාගේ සම්බන්ධීකරණය ඇති කිරීම, පරිපාලන හා විකල්ප දත්ත මූලාශ්‍ර ඒකාබද්ධ කිරීම හෝ ස්වාධීනත්වය, අපක්ෂපාතිත්වය සහ තත්ත්ව සහතිකය සනාථ කරන පාලන විධිවිධාන අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් පසුබිමක් සපයනු නොලබන බව හඳුනාගනු ලැබ ඇත.
එබැවින්, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශයේ විශේෂඥවරයෙකුගේ තාක්ෂණික මඟ පෙන්වීම මත, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් විසින්, ජාත්‍යන්තර විශේෂඥ දැනුම, දේශීය ආයතනික දැනුම සමඟ ඒකාබද්ධ කර ගෝලීය වශයෙන් ස්ථාවර සහ ජාතික වශයෙන් අනුකූල වන පරිදි ජාතික සංඛ්‍යාන මූලික පනත් කෙටුම්පතක් සකස් කර ඇත.
යෝජිත මූලික කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ නිල සංඛ්‍යාලේඛන සකස් කිරීම, සම්බන්ධීකරණය සහ පාලනය සඳහා වන නීතිමය රාමුව නවීකරණය කර ඒකාබද්ධ කරමින්, නිල සංඛ්‍යාලේඛන නිපදවන්නන් සියලුදෙනාගෙන් සමන්විත ජාතික සංඛ්‍යාන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, 1900 අංක 9 දරන සංගණන ආඥාපනත සහ 1935 අංක 44 දරන සංඛ්‍යාලේඛන ආඥාපනත ඉවත් කරමින් අදාළ මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

