ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් කහල්ල පල්ලේ කැලේ අභය භූමිය තුළ දී අද(28) පස්වරුවේ සිදුකරන ලද මුර සංචාරයකදී දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වකු මෙන්ම දුර්ලභ සත්වයකු ලෙස සැලකෙන හඳුන් දිවියකු මරා මස් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කහල්ල පල්ලේකැලේ අභය භූමියට අයත් කරවිලගල ප්‍රෙද්ශයේදී සැකකරු මෙම හඳුන් දිවියා ඝාතනය කර ඇති බවත් ඝාතනය කර තිබූ හඳුන් දිවියා මස් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීහු පවසති. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ අවට පරීක්ෂා කර ඇති වනජීවී නිලධාරීන් ඒ ආසන්නයේ තිබී බඳින තුවක්කුවක් ද සොයා ගෙන තිබේ.
සැකකරු විසින් ඝාතනය කර ඇති හඳුන් දිවියා උස දෙකක් පමණ වන වයස අවුරුදු 06ක් පමණ වන හොඳින් වැඩුනු එකෙකු බව වන ජීවී නිලධාරිහු පවසති.
සැකකරු මස් කරමින් සිටි හඳුන් දිවියාගේ හිස හා පාද මෙන්ම සම ඇතුළු ශරීර කොටස් රැසක් ද හඳුන් දිවියා මස් කිරීමට සැකකරු භාවිතා කළ ලොකු හා කුඩා පිහියා දෙකක් ද, මස් කළ හඳුන් දිවියාගේ මස් තොගයක් ද මෙහිදී සැකකරු සමග අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීහු සමත්ව තිබිණ.
අත්අඩංගුවට පත් සැකකරු පලාගල කරවිලගල ප්‍රෙද්ශයේ පදිංචි වයස අවුරුදු 60ක පමණ වන පුද්ගලයකු බව වනජීවී නිලධාරීහු පවසති.
බළල් කුළයේ දෙවන විශාලතම සත්වයා ලෙස හඳුනාගෙන ඇති හඳුන් දිවියා ඉංග්‍රීසි බසින් Fishing Cat ලෙස හඳුන්වනු ලබන අතර, සත්ව විද්‍යාත්මක නාමයෙන් Prionailurus Viverrinus ලෙස හඳුන්වන හඳුන් දිවියා වසර 12ක පමණ ආයු කාලයක් හිමි සත්වයකු බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
වනසත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක පනත යටතේ හඳුන් දිවියා දැඩි ආරක්ෂීත ක්ෂීරපායි සත්වයකු ලෙස නම් කර ඇති වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ඝනයේ සත්වයකු වන බව ද වනජීවී නිලධාරීහු පෙන්වා දෙයි.
හඳුන්දිවි දඩයම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම සැකකරු හෙට(29) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
කුෂාන් ජයවර්ධන – කැකිරාව

